සෙලින්කෝ ලයිෆ් සිය දෙවැනි විශාලතම ශාඛාව ලෙස මීගමුවේ නව හරිත ශාඛාව විවෘත කරයි

සෙලින්කෝ ලයිෆ් සමාගම මීගමුව නගරයේ සමාගමට අයත් ඉඩමක ඉදිකළ නවතම පරිසර හිතකාමී ශාඛා ගොඩනැගිල්ල විවෘත කරමින් මීගමුව ප‍්‍රදේශයේ සිය මෙහෙයුම් කටයුතු කැපී පෙනෙන ලෙස පුළුල් කර ඇතැයි පවසයි.

මෙම නව ගොඩනැගිල්ල මගින් මීගමුවේ සෙලින්කෝ ලයිෆ් ශාඛාවට වර්ග අඩි 7,950 ක ඉඩකඩක් අළුතින් එක්කිරීමත් සමග සමස්ත වර්ග අඩි ප‍්‍රමාණය 18,859 ක්වී තිබේ. මේ අනුව, මෙය ශ‍්‍රී ලංකාවේ දෙවැනියට විශාලතම සෙලින්කෝ ලයිෆ් ශාඛාව බව සමාගම සඳහන් කරයි.

මෙය ගම්පහ දිස්ත‍්‍රික්කයේ සමාගමටම අයත් ඉඩමක ඉදිකළ පස්වන ගොඩනැගිල්ල වන අතර මීට පෙර දිවුලපිටිය, කඩවත, ගම්පහ සහ පවතින මීගමුව ශාඛා ගොඩනැගිලි සමාගම විසින් තමන්ටම අයත් ඉඩම්වල ඉදිකර ඇත.  

ජාතික විදුලිබල පද්ධතියෙන් ලබාගන්නා විදුලිය අඩුකරමින් මෙම ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම සූර්ය බලශක්තියෙන් ආලෝකකරණය කර තිබෙන අතර ඒ වෙනුවෙන් කිලෝවොට් 57.2 ක සූර්ය විදුලිබල පද්ධතියක් ස්ථාපිත කර තිබේ. මෙම සූර්ය බලශක්ති පද්ධතිය සමාගමේ ගොඩනැගිලි ජාලයේ දෙවැනියට විශාලතම සූර්ය බලශක්ති පද්ධතිය වන අතර ශාඛා ජාලය තුළ ස්ථාපිත කළ විශාලතම සූර්ය බලශක්ති පද්ධතිය වේ.

මීට අමතරව, මෙම ගොඩනැගිල්ල සෙලින්කෝ ලයිෆ් විසින් ගොඩනැගූ දෙවැනියට විශාලතම වර්ෂා ජලය රැස්කිරීමේ පහසුකමකින්, අප ජලය පිරිපහදු කර වැසිකිලි සහ ගෙවත්ත සඳහා නැවත ජලය ලබාගන්නා අති නවීන අප ජලය පිරිපහදු කිරීමේ යන්ත‍්‍රාගාරයකින් සහ බලශක්ති පරිභෝජනය අඩුකරන බලශක්ති කාර්යක්ෂමතාවයෙන් යුක්ත නවතම වායුසමීකරණ යන්ත‍්‍ර වලින් සමන්විත වේ.      

ගැනුම්කරුවන්ගේ සහ සේවකයින්ගේ පහසුව සඳහා මෙම ගොඩනැගිල්ලේ විදුලි සෝපානයක්, මෝටර් රථ 20 ක් නතර කළ හැකි මෝටර් රථ අංගනයක්, වසරේ දින 365 හිම පැය 24 පුරා මුදල් තැන්පත් කළ හැකි මුදල් තැන්පත් කිරීමේ යන්ත‍්‍රයක්, ගැනුම්කරුවන්ට වෙන්වූ නව ගිමන් ස්ථානයක් සහ ඔවුන් සමග කතාබහ කිරීමට පුද්ගලික සාකච්ඡා කාමර ගොඩනගා තිබේ.

මීට අමතරව, මෙම ශාඛාව මගින් මීට පෙර සමාගමේ අලෙවි කළාප අටක් සඳහා පහසුකම් සැලසූ අතර මෙම පුළුල් කිරීමෙන් පසුව තවත් අලෙවි කළාප දහයක් සඳහා පහසුකම් සැපයීම ආරම්භ කර ඇත. එසේම, වරකට සිය දෙනෙකුට එක්වර අසුන්ගත හැකි නව පුහුණු මධ්‍යස්ථානයක් මෙම ගොඩනැගිල්ලේ ස්ථාපිත කර තිබෙන අතර සමාගම විසින් ප‍්‍රදේශය තුළ සිදුකරන මෙහෙයුම් කටයුතුවල මධ්‍යස්ථානයක් ලෙස මෙම ශාඛාව ක‍්‍රියාත්මක වේ. සමාගම සඳහන් කරන්නේ මෙම ගොඩනැගිල්ලේ සේවකයින්ට ආහාර ගැනීමට නව කාමරයක් සහ කුඩා පුහුණු කාමරයක්ද ගොඩනගා තිබෙන බවයි.   

මෙම නව ගොඩනැගිල්ල සඳහා සමාගම විසින් රුපියල් මිලියන 120 ක මුදලක් ආයෝජනය කර ඇති අතර, සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් ගම්පහ දිස්ත‍්‍රික්කයේ ආරම්භ කර තිබෙන ශාඛා 19 අතුරින් මීගමුව ශාඛාවද එකක් වේ.

Visits: 106