ෂර්මාල් ප්‍රනාන්දු Chemanex PLC ප්‍රධාන විධායක ධුරයෙන් ඉවත් වෙයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත Chemanex PLC සමාගමෙහි අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස කටයුතු කළ ෂර්මාල් ප්‍රනාන්දු මහතා සිය ධුරයෙන් ඉවත්වී ඇතැයි එම සමාගම පවසයි.

අද දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ඉවත්වීම සිදුව තිබේ. ඒ මහතා පසුගියදා Chemanex PLC සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමත් සමගින්ම මෙලෙස ප්‍රධාන විධායක නිලධාරී ධුරයෙන්ද ඉවත්විම සිදුව තිබේ.

ඒ මහතා 2018 මැයි 11 වැනිදා Chemanex PLC සමාගමෙහි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස පත් කෙරිණි. එසේම 2019 සැප්තැම්බර් මාසයේ සිට ඒ මහතා සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකුව කටයුතු කළේය.

මෙම ඉවත්වීම සිදුවන අවස්ථාව වනවිට ෂර්මාල් ප්‍රනාන්දු මහතා සතුව Chemanex PLC සමාගමෙහි කිසිදු කොටස් හිමිකාරීත්වයක් නොතිබූ බවත් සමාගම පවසයි.

ඒ අනුව අද (අගෝස්තු 26) වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි Chemanex PLC සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ලය වන්නේ පී.ආර්. සාල්ඩින් – සභාපති (විධායක නොවන ස්වාධීන නොවන අධ්‍යක්ෂ), ඊ.එම්.එම්. බෝයගොඩ අධ්‍යක්ෂ (විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂ), එස්.ඒ.බී. ඒකනායක අධ්‍යක්ෂ (විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂ) බවත් සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

Chemanex PLC සමාගමෙහි කොටස් හිමිකාරීත්වය අතරින් කොටස් 7,939,373ක් එනම් 50.55%ක් හිමිව ඇත්තේ සීඅයිසී හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමටයි. එසේම තවත් කොටස් 1,627,383ක් එනම් 10.36%ක් සීඅයිසී හෝල්ඩිංග්ස් පීඑල්සී/Charitable and Education Trust Fund හට හිමිව තිබේ.

ෂර්මාල් ප්‍රනාන්දු මහතා සීඅයිසී හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා ලෙසද කටයුතු කරයි. මීට අමතරව සීඅයිසී සමූහයේ තවත් ලැයිස්තුගත නොවූ සමාගම් කිහිපයකම ඔහු විධායක නොවන අධ්‍යක්ෂ වරයෙකු ලෙසද කටයුතු කරයි.

Visits: 101