“පසුගිය වසරේදී ලංකාවේ සංචාරක කර්මාන්තයේ රැකියා 214,000ක් අහිමි වෙලා”

ශ්‍රී ලංකාව තුළ සංචාරක කර්මාන්තයේ නියැලුණු පුද්ගලයන් 214,000කට 2020 වසරේදී සිය රැකියා අහිමිවීමක් සිදුව ඇතැයි ලෝක සංචාරක සහ සංචරණ කවුන්සිලය (WTTC- World Travel & Tourism Council ) පවසයි. එම කවුන්සිලය මගින් වාර්ෂිකව ඉදිරිපත් කරන ආර්ථික බලපෑම් වාර්තාව (EIR – Economic Impact Report) එළිදක්වමින් මෙම කරුණු සඳහන් කර සිටියි.

විශේෂයෙන්ම 2019 වසරේ එල්ල වූ පාස්කු ප්‍රහාරයෙන් පසුව සහ 2020 වසරේ ඇති වූ කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය සම්පූර්ණයෙන්ම නවතා දැමීම මෙම තත්ත්වයට හේතුව වී ඇත.

ඒ අනුව සංචාරක කර්මාන්තය සිය ජීවනෝපාය කරගත් බොහෝ පිරිසකට මෙන්ම ඔවුන්ගේ යැපෙන්නන් වෙතද මින් දැඩි බලපෑමක් එල්ල වූ බව එම කවුන්සිලය පවසයි.

“ජාත්‍යන්තර සංචරණය තවදුරටත් මේ විදියට නැවැතී පැවතීම, ගෝලීය සමාජ ආර්ථික යථාවත්වීම තවදුරටත් පමා කරවාවි. වඩාත් සුරක්ෂිතව සිදු කරන ජාත්‍යන්තර සංචරණයේ යළි පිහිටුවීමක් කඩාවැටී ඇති මෙම සංචාරක සහ සංචරණ ක්ෂේත්‍ර ආරක්ෂා කරගැනීමට සමත් වේවි.” යනුවෙන් මෙම කවුන්සිලයේ ජ්‍යෙෂ්ට උප සභාපතිනී වර්ජිනියා මෙසීනා පවසා සිටියි.

ඒ අනුව ආර්ථිකයේ යථාවත්වීම සඳහා මූලිකවම එන්නත්කරණ වැඩසටහන්හි වේගවත්වීම ප්‍රධාන වන බව සිය කවුන්සිලය විශ්වාස කරන බවත් ඇය මෙහිදී පවසයි. එසේම ජාත්‍යන්තර සංචරණය යළි ඇරඹීමට සහ අර්බුදයට පත්ව තිබෙන සංචාරක සහ සංචරණ ක්ෂේත්‍රය ඉන් ගලවා ගැනීමේ උත්ප්‍රේරකයක් ලෙස මෙය ක්‍රියා කරනු ඇතැයිද ඇය සඳහන් කර තිබේ.

ලෝක සංචාරක සහ සංචරණ කවුන්සිලයේ මෙම නවතම ආර්ථික බලපෑම් වාර්තාවට අනුව සංචාරක කර්මාන්තය ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතය වෙත දක්වන දායකත්වය 2019 වසරේදී රුපියල් මිලියන 1,665.5ක සිට 2020 දී රුපියල් මිලියන 739.9ක් දක්වා පහත වැටී ඇත. මෙය දළ ජාතික නිෂ්පාදිතයට දක්වන දායකත්වය ප්‍රතිශත ලෙස පිළිවෙලින් 10.4%ක සහ 4.9%කි.

මේ අතර එම කවුන්සිලය මගින් පෙන්වා දෙන ආකාරයට ශ්‍රී ලංකාවේ වඩාත් වැදගත් සංචාරක වෙළෙඳ වෙළෙඳ පොළක් වන බ්‍රිතාන්‍යය විසින් ශ්‍රී ලංකාව එහි සංචාරක රතු ලැයිස්තුව (Red list) වෙත ඇතුළු කරමින් සංචරණය සඳහා අනතුරුදායක ගමනාන්තයක් ලෙස සටහන් කර තිබීම ශ්‍රී ලංකාවෙහි ආර්ථිකයට දරුණු බලපෑමක් බවද පවසයි.

විශේෂයෙන්ම මේ හේතුවෙන් දිනකට ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය වෙත රුපියල් මිලියන 260ක් අහිමි වන බවත්, එය සතියකදී රුපියල් බිලියන 1.9ක අහිමිවීමක් බවත්, මාසයකදී එය රුපියල් බිලියන 8කට ආසන්න අහිමිවීමක් වන බවත් සඳහන් වෙයි.

කොවිඩ්-19 වසංගතය ඇති වීමට පෙර පවතින දත්ත අනුව ශ්‍රී ලංකාව වෙත සංචාරකයන් පැමිණෙන ප්‍රධානතම වෙළෙඳ පොළක් ලෙස බ්‍රිතාන්‍යය හඳුනාගෙන තිබුණි. එහිදී 2019 වසරේදී වාර්තා වී ඇති සියලුම විදෙස් සංචාරක පැමිණීම් අතරින් 10%ක් බ්‍රිතාන්‍යයෙන් පැමිණි සංචාරකයන් වන අතර එය දෙවැනි වී ඇත්තේ ඉන්දියාවට පමණකි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති එම කවුන්සිලයේ ජ්‍යෙෂ්ට උප සභාපතිනිය, “ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයේ සංචරණ රතු ලැයිස්තුවේ රැඳී සිටින සෑම සතියකදීම ඔවුන්ට මිලියන ගණනින් පාඩු සිදු වෙනවා. බ්‍රිතාන්‍යයේ මෙම රතු ලැයිස්තුවට ඇතුළත් රටවල් වෙත මෙහිදී සිය සංචාරක සහ සංචරණ ක්ෂේත්‍ර වෙත පාඩු සිදු වෙනවාට අමතරව දැනටමත් කඩා වැටී තිබෙන ආර්ථිකයන් වෙතත් බලපෑම් එල්ල කරනවා.” ඇය පවසා තිබේ.

Visits: 134