ඉංජිනේරු ආනන්ද කුරුප්පුආරච්චි APHNH හි අභිනව සභාපති ලෙස තේරී පත් වෙයි

කොවිඞ්-19 වසංගතයෙන් පීඩාවිඳින මෙරට සෞඛ්‍ය ක්ෂේත‍්‍රය සහ එහි සාමාජිකයින්ගේ සුබසිද්ධිය උදෙසා ලබා දෙන දායකත්වය තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින් පෞද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සංගමය (APHNH) මෑතකදී පවත්වන ලද සිය වාර්ෂික මහා සභා රැස්වීමේදී (AGM) නව නිලධාරී මණ්ඩලයක් තෝරා පත් කර ගනු ලැබීය.

මෙතෙක් කල් සභාපතිවරයා ලෙස කටයුතු කළ හේමාස් රෝහලේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ලකිත් පීරිස් මහතාගේ සේවා කාලය අවසන් වීමෙන් පසු එම හිස් වූ ධූරය සඳහා පන්නිපිටිය පෞද්ගලික රෝහලේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ, ඉංජිනේරු, ආනන්ද කුරුප්පුආරච්චි මහතා පෞද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සංගමයේ අභිනව සභාපතිවරයා ලෙස ඉදිරි වසර දෙකක කාලය සඳහා තේරී පත් විය.

ඒ අනුව උප සභාපතිවරුන් ලෙස – දේශමාන්‍ය ඉන්ද්‍රානි ප‍්‍රනාන්දු මහත්මිය (නව ෆිලිප් රෝහල), වෛද්‍ය රුවන් සේනාතිලක මහතා (ආසිරි රෝහල) සහ විශේෂඥ වෛද්‍ය උපාලි බානගල මහතා (කිංග්ස් රෝහල), ලේකම් ලෙස – වෛද්‍ය සුනිල් රත්නප‍්‍රිය මහතා (ආසිරි රෝහල), සහකාර ලේකම් ලෙස – වෛද්‍ය කාර්තිකා කතිරේසන් මහත්මිය (ලංකා රෝහල), භාණ්ඩාගාරික ලෙස – දිනේෂ් රණවීර මහතා (Royal Hospital) සහ සහකාර භාණ්ඩාගාරික ලෙස – රවීන් වික‍්‍රමසිංහ මහතා (රුහුණු රෝහල) 2021/23 සඳහා අභිනවයෙන් තේරී පත් වූහ. මීට අමතරව 12 දෙනෙකුගෙන් යුත් කමිටුවක් ද නව පාලක කවුන්සිලය ලෙස තේරී පත් විය.

මෙම මහා සභා රැස්වීමේදී පසුගිය දශක පහ තුළ රටේ සෞඛ්‍යය ක්ෂේත‍්‍රය නගා සිටුවීම සඳහා පෞද්ගලික රෝහල් හා සාත්තු නිවාස සංගමය ගෙන ගිය ක‍්‍රියාමාර්ගය බොහෝ දුරට ශක්තිමත් කිරීමට කැපී පෙනෙන කාර්යභාරයක් මීට පෙර සිටි නිලධාරීන් ඉටු කරන ලද බව සඳහන් විය.

සංගමයේ මැදිහත් වීම හේතුවෙන් පෞද්ගලික රෝහල් වලට PCR පරීක්ෂණ සිදු කිරීමට සහ COVID-19 රෝගීන් සඳහා අතරමැදි සත්කාර පහසුකම් සැපයීමට ඉඩ සැලසුණු අතර එමගින් මෑත ඉතිහාසයේ රට මුහුණ දෙමින් සිටින විශාලතම සෞඛ්‍යය අර්බුදයට එරෙහිව සටන් කිරීමට මහජනතාවට තම සහාය ලබා දීමට හැකිවිය.

සංගමය සිය සාමාජිකත්වය සැලකිය යුතු ලෙස වැඩි කරගැනීමට සමත් වූ අතර ඒ අනුව 2019 වසර හා සැසඳීමේදී 2020/21 මූල්‍ය වර්ෂය තුළ සංගමයේ සාමාජික මුදල් එකතුවීම දෙගුණයකින් වැඩි කරගැනීමට හැකි වීම කැපී පෙනේ. මීට අමතරව, APHNH තුළ ශක්තිමත් පාලන ව්‍යුහයක් ස්ථාපිත කළ අතර, සංගමයේ වර්ධනය සඳහා සැලැස්මක් ද ක‍්‍රියාත්මක කළේය. එමගින් සංගමය පසුගිය වසර දෙක තුළ රටේ සමස්ත පෞද්ගලික සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ ක‍්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීමට සැලකිය යුතු දායකත්වයක් ලබා දුන්නේය.

‘‘මෙම COVID-19 වසංගතය අතරතුර මතු වූ අභියෝගාත්මක අවස්ථාවලදී නොසැලී ඉදිරියට යාමටත් රටට අර්ථවත් දායකත්වයක් ලබා දීමට මිල කළ නොහැකි සේවයක් ලබාදුන් හිටපු සභාපතිතුමාට සහ ඉවත්ව ගිය සියලූම නිලධාරී මණ්ඩලයට මා ස්තූතිවන්ත වනවා.” යනුවෙන් නව සභාපති වෛද්‍ය ආනන්ද කුරුප්පුආරච්චි මහතා පැවසුවේය.

”විශේෂයෙන් මානව සම්පත් අංශය වැඩිදියුණු කිරීමේදී එනම්, පුහුණුවීම් වැඩි කිරීම සහ කුසලතා සහිත පිරිස් ආකර්ෂණය කරගැනීමට සහ රඳවා ගැනීම ආදී අප සංගමය හා සාමාජිකයින් මුහුණ දෙන අභියෝගයන්ට විසඳුම් ලබා දීමට නව නිලධාරී මණ්ඩලයේ සහයෝගය මා බලාපොරොත්තු වනවා.” යනුවෙන් ඔහු තවදුරටත් පැවසුවේය.

පන්නිපිටිය පෞද්ගලික රෝහල ආරම්භ කිරීමට වසර 25 කටත් පෙර සිටම ඉංජිනේරු ආනන්ද කුරුප්පුආරච්චි මහතා සෞඛ්‍ය සේවා කළමනාකරණය පිළිබඳ දශක ගණනාවක පළපුරුද්දක් ඇති අයෙකි. ඔහු පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාවේ (PHSRC) සහ APHNH හි සාමාජිකයෙකු ලෙස දීර්ඝ කාලයක් සේවය කර ඇත. ඔහු APHNH හි උප සභාපතිවරයා ලෙස කටයුතු කළ පසුගිය වසර දෙකක කාලය තුළ පුහුණු හා නිපුණතා සංවර්ධන කමිටුවට නායකත්වය ලබා දුන් අතර එම කමිටුවට කැපී පෙනෙන ක‍්‍රියාමාර්ග රැසක් ගැනීමට හැකියාව ලැබුණි.

Visits: 47