ChildFund Sri Lanka සහ වෘත්තීය පුහුණු අධිකාරිය රැකබලාගන්නන් සවිබල ගැන්වීමේ එකඟතාවකට

මුල් ළමාවිය සංවර්ධනයේදී දරුවන්ට නිසි රැකවරණය ලබාදීම සඳහා සවිමත් පදනමක් ගොඩනඟා ගැනීමට රැකබලා ගන්නන්ට සහාය දීමේ වැදගත්කම ChildFund Sri Lanka හඳුනාගෙන ඇතැයි පවසයි.

ඒ අනුව රැකබලා ගන්නන් සවිබලගැන්වීමේ ආරම්භක පියවරක් වශයෙන් විධිමත් ලෙස අනුමත කළ, වෘත්තීය පුහුණුවක් ලබාදීම මගින් තෝරා ගත් පුද්ගලයින්ගේ පවත්නා දැනුම හා කුසලතා ප්‍රමිතිකරණය කරනු පිණිස ජාතික මට්ටමේ වෘත්තීය සුදුසුකම් සහිත (NVQ) සහතිකයක් නිකුත් කිරීමට ChildFund Sri Lanka ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය (VTA) සමඟ අවබෝධතා ගිවිසුමකට (MOU) එළඹී තිබේ.

මෙම අවබෝධතා ගිවිසුම ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති, ප්‍රධාන විධායක නිලධාරී එරංග බස්නායක සහ ChildFund Sri Lankaහි ආයතනික කළමනාකරු නාලක සිරිවර්ධන යන මහත්වරු දෙපාර්ශවයේ ඉහළ නිලධාරීන් ඉදිරියේ පසුගියදා අත්සන් කළහ.
‘’ChildFund Sri Lanka ඉල්ලීමට අප ලබා දුන් එකඟතාව අනුව වඩා විධිමත් සහ වෘත්තීය සවිබලගැන්වීමක් වශයෙන් හඳුනාගත් වෘත්තීමය පුහුණුවක් තෝරාගත් ළමුන් රැකබලාගන්නන් සඳහා අප ලබා දෙනවා. එහිදී පුහුණුව ලබා දෙන්නේ ළමුන් රැකබලාගැනීම පිළිබඳව ජාතික වෘත්තීය සුදුසුකම් සහතිකයක් (NVQ) වෙනුවෙනුයි.” එරංග බස්නායක මහතා පැවසීය.

“සම වයස් කණ්ඩායම් අතර දැනුම හා උපදෙස් ලබා දීමේ හැකියාව ඇති විපර්යයකාරයකින් (Change agents) ලෙස නායක මව්වරුන් (Lead Mothers) සඳහා විධිමත් හා පිළිගත් පුහුණුවක් ලබා දීමට වෘත්තීය පුහුණු අධිකාරිය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම පිළිබඳව ChildFund Sri Lanka වන අප බෙහෙවින් සතුටට පත්වෙනවා. අපගේ ‘නායක මව්වරුන්ගේ’ වැඩසටහන රැකවරණය ලබා දීමේ අංශය තුළ ආර්ථික අවස්ථාවක් ලබා දෙමින් ළමා රැකවරණය සඳහා වන සමාජ ව්‍යවසායක් දක්වා දිග හැරෙමින් පවතිනවා. එය දරුවන් සඳහා වයසට ගැළපෙන වර්ධනයට හා සංවර්ධනයට පහසුකම් සපයන ගුණාත්මක සේවාවන් ආයතනයක් ලෙස ස්ථාපිත කිරීමට අප බලාපොරොත්තු වෙනවා. මෙම නායක මව්වරුන්ගේ වැඩසටහන දෙමව්පියන්ගේ සහ දරුවන් රැකබලාගන්නන් තුළ දරුවන්ගේ පෝෂණ තත්ත්වය සහ බුද්ධිය සංවර්ධනය පිළිබඳ දැනුම වැඩිදියුණු කිරීමට අදාලව ධනාත්මක දායකත්වයක් ලබා දී ඇත. මෙම සුදුසුකම ඔවුන්ගේ කුසලතා ශක්තිමත් කිරීමට හා දරුවන්ගේ ජීවිත පරිවර්තනයකට ලක් කිරීමට උපකාරී වෙනවා.” යැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නාලක සිරිවර්ධන මහතා පැවසීය.

පළමු ආධුනිකත්ව පුහුණු පාඨමාලාව හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටි මැදමුලන වෘත්තීය පුහුණු අධිකාරි මධ්‍යස්ථානයේ මව්වරුන් 15 දෙනෙකු සඳහා පැවැත්වීමට නියමිතය. ChildFund Sri Lanka විසින් පුහුණු උපකරණ සහ වැඩිහිටි අභ්‍යාසලාභීන් සඳහා පාඨමාලා ගාස්තු ඇතුළු අවශ්‍ය යටිතල පහසුකම් සපයා දී ඇත.

අවබෝධතා ගිවිසුමට අනුව වෘත්තීය පුහුණු අධිකාරිය විසින් ප්‍රතිචාරාත්මක දරුවන් රැකබලා ගැනීමට සහ දරුවන්ගේ මුල් ළමාවිය සංවර්ධනය සිදු කිරීමට අවශ්‍ය දැනුම කුසලතා ලබා දෙන පුහුණු වැඩසටහනක් සහභාගීවන්නන්ට ලබා දෙන අතර එමඟින් ඔවුන්ට රැකියා අවස්ථා ලබාගැනීමේ හැකියාවද වැඩි කරයි. මෙහිදී සහභාගීවන්නන්ට දරුවන් රැකබලාගැනීමේ වෘත්තීය සඳහා වන NVQ 3 වන මට්ටමේ ජාතික සහතිකය ලැබෙනු ඇත.

Visits: 27