අලෙවි නියෝජිත වට්ටම් සීමා කිරිම නිසා මරුටි සුසුකි සමාගමට ඉන්දීය රු. කෝටි 200ක දඩයක්

ඉන්දියාවේ විශාලතම මෝටර් රථ නිෂ්පාදන සමාගම වන මරුටි සුසුකි ඉන්දියා ලිමිටඩ් සමාගම (MSIL) විසින් සිය අලෙවි නියෝජිතයන් සම්බන්ධයෙන් පවත්වාගෙන ගිය වට්ටම් ලබා දීමේ ප්‍රතිපත්තිය හේතුවෙන් එම සමාගම වෙත ඉන්දීය රුපියල් කෝටි 200ක දඩයක් පැනවීමට එරට වෙළෙඳ පොළ තරගකාරීත්වය ආරක්ෂා කිරිම පිළිබඳ නියාමකයන් පියවර ගෙන ඇතැයි වාර්තා වෙයි.

මෙහිදී මරුටි සුසුකි සමාගම මගින් අලෙවි නියෝජිතයන් සඳහා ලබා දෙන වට්ටම් සීමා කර ඇති බවත්, ඒ හරහා යම් කිසි අඩු මුදලකට මෝටර් රථයක් මිලදී ගැනීමට එන පාරිභෝගිකයන් වෙත අගතියක් සිදුව ඇති බව පවසමින් මෙම දඩය පැමිණවීම පසුගියදා සිදු කෙරී තිබේ.

ඒ අනුව මරුටි සුසුකි ඉන්දියා ලිමිටඩ් සමාගම ඉදිරියේදී මෙම ක්‍රමවේදය ‘අත්හැරීම සහ ඉන් වැළැකීම‘ සිදු කළ යුතු බවත්, දින 60 ක කාලයක් ඇතුළතදී සමාගම මෙම දඩ මුදල ගෙවිය යුතු බවටත් ඉන්දියාවේ වෙළෙඳ පොළ තරගකාරීත්වය පිළිබඳ කොමිසම (CCI – Competition Commission of India) නියෝග ලබා දී ඇත.

එම කොමිසම විසින් 2019 වසරේ සිටම මරුටි සුසිකි සමාගම සිය අලෙවි නියෝජිතයන් සම්බන්ධයෙන් අනුගමනය කළ මෙම වට්ටම් සීමා කිරීමේ ප්‍රතිපත්තිය පිළිබඳව නිරීක්ෂණය කර තිබෙන බව පවසයි. ඒ අනුව මෙහිදී එම සමාගම අලෙවි නියෝජිතයන් වෙත සිය නිෂ්පාදන සඳහා ලබා දිය යුතු වට්ටම් පිළිබඳව බලහත්කාරී ලෙස මැදිහත් වෙමින් වෙළෙඳපොළ තරගකාරීත්වයට එරෙහිව කටයුතු කළ ආකාරය පැහැදිලි යැයි එම කොමිසම සඳහන් කර තිබේ.

එම කොමිසම මගින් හඳුනාගෙන ඇති ආකාරයට මරුටි සුසුකි සමාගම මගින් සිය අලෙවි නියෝජිතයන් සමගින් ඇතිකරගන්නා එකඟතාවකට අනුව, එම සමාගම මගින් ලබා දෙන මිල ගණන්වලට ඔබ්බෙන් පාරිභෝගිකයා වෙත වට්ටම් ලබා දීමෙන් එම අලෙවි නියෝජිතයන් වළක්වා තිබෙන බව පැවසෙයි.

“තවත් විදියකට කිව්වොත් මරුටි සුසුකි ඉන්දියා ලිමිටඩ් සමාගම ‘වට්ටම් පාලන ප්‍රතිපත්තියක්‘ අනුගමනය කරලා. ඒ හරහා තමන් අනුමත කරන මට්ටමින් ඔබ්බට අමතර වට්ටමක් පාරිභෝගිකයා වෙත ලබාදීමට අලෙවි නියෝජිතයාව අධෛර්යමත් කරලා. අලෙවිකරුවාට යම් අමතර වට්ටමක් ලබා දෙන්නට වුවමනා වුණා නම් ඔහු ඊට පෙර මරුටි සුසුකි සමාගමෙන් අනුමැතියක් ලබා ගැනීම අනිවාර්යය වෙලා තිබිලා. ඒ වගේම තමයි මෙම වට්ටම් පාලන ප්‍රතිපත්තිය උල්ලංඝණය කරන අලෙවි නියෝජිතයන්ට දඩ පමුණුවන බවටත් මරුටි සුසුකි සමාගම තර්ජනය කරලා.” යනුවෙන් මෙම කොමිසම පසුගියදා නිකුත් කළ සිය නිවේදනයේ සඳහන් කර තිබේ.

මෙම සිදුවීම පිළිබඳ විමර්ශනයේදී මරුටි සුසුකි ඉන්දියා ලිමිටඩ් සමාගම තමන් සතුව එවැනි වට්ටම් පාලන ප්‍රතිපත්තියක් නොමැති බවත්, අලෙවි නියෝජිතයන් වෙත තමන්ට කැමති ලෙස පාරිභෝගිකයන්ට වට්ටම් ලබා දීමට නිදහස ලබා දී තිබූ බවත් පවසා ඇත.

කෙසේ වෙතත් එම කොමිසම සිදු කළ පරීක්ෂාවේදී මරුටි සුසුකි සමාගමේ නිලධාරීන් සහ අලෙවි නියෝජිතයන් අතර හුවමාරු වූ ඊ-මේල් පණිවුඩ කිහිපයකම මෙලෙස වට්ටම් පාලන ප්‍රතිපත්තියක් පැවැති බවට වන සාක්ෂි හමුව ඇති බවත්, එය මරුටි සමාගම මිස අලෙවි නියෝජිතයන් මගින් සිදු කළ දෙයක් නොවන බවත්  කොමිසමේ නිලධාරීන් සඳහන් කර තිබේ.

මරුටි සුසුකි ඉන්දියා ලිමිටඩ් සමාගමේ බහුතර කොටස් හිමිකාරිත්වය පවතින්නේ ජපානයේ සුසුකි මෝටර් කෝපරේෂන් සමාගම වෙතයි. මෙම දඩ පැනවීම සම්බන්ධයෙන් ඊයේ දිනය වන තුරුම එම සමාගම කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවත් ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් පවසයි.

Visits: 152