“SDB බැංකුවේ සහ LOLC හි වටිනාකම් සහ දැක්ම එක සමානයි” – LOLC පවසයි

සණස සංවර්ධන බැංකුවෙහි (SDB – සණස ඩිවලොප්මන්ට් බෑන්ක් පීඑල්සී) කොටස් හිමිකාරීත්වයෙන් 15%ක් අත්පත් කරගැනිමට මෙරට මුල් පෙළේ ලැයිස්තුගත සමාගම් සමූහයක් වන LOLC Holdings PLC සමාගම සමත්ව ඇතැයි එම බැංකුව මගින් ඊයේ අනාවරණය කර තිබුණි.

සණස සංවර්ධන බැංකුව පසුගිය අගෝස්තු 05 වැනිදා ආරම්භ කළ දෙවැනි මහජන කොටස් නිකුතුවේදී LOLC සමාගම මගින් සිදු කළ කොටස් මිලදී ගැනීමත් සමගින්ම මෙලෙස එම සමාගම බැංකුවෙහි තමන් සතු කොටස් ප්‍රමාණය 15%ක් බවට පත් කරගෙන තිබේ.

මෙහිදී LOLC සමූහයට අයත් Iconic Property සමාගම හරහා මෙම අත්පත් කරගැනීම සිදුව තිබේ. බැංකුව සහ LOLC සමාගම සඳහන් කරන ආකාරයට සණස සංවර්ධන බැංකුවෙහි දෙවැනි මහජන කොටස් නිකුතුවෙහි කොටස් 24,104,800ක් කොටසක් රුපියල් 51.50ක් බැගින් මිලදී ගැනීම සිදුව ඇත.

මෙම ගනුදෙනුවේ සමස්ත වටිනාකම රුපියල් බිලියන 1.2ක් (1,241,397,200ක්) වන බව LOLC සමාගම සඳහන් කරයි.

ඒ අනුව මෙලෙස සණස සංවර්ධන බැංකුවෙහි කොටස් හිමිකාරිත්වයෙන් 15%ක් අත්පත් කරගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් LOLC සමාගම අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුව වෙත කරුණු දැක්වීමක් සිදු කර තිබේ.

මෙහිදී ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් වන සණස සංවර්ධන බැංකුව සතුව රට පුරා විහිදුනු ශාකා 94ක ජාලයක් පවතින බවත්, 2020 වසරේදී බැංකුවෙහි ලාභය රුපියල් 835ක් වූ බවත්, එහි ණය කළඹ අදවනවිට රුපියල් මිලියන 107ක් සහ තැන්පතු පදනම රුපියල් මිලියන 93ක් වන මෙන්ම අක්‍රිය ණය අනුපාත 4.5%ක් වන බවත් LOLC සමාගම සඳහන් කරයි.

“SDB බැංකුව දිවයින පුරාම සුළු හා මධ්‍ය පරිමාණ වගේම ක්ෂුද්‍ර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙත සහාය දක්වමින් බිම් මට්ටමේ ආර්ථික සංවර්ධනය පිළිබඳව හොඳ පිළිගැනීමක් ලබා තිබෙන බැංකුවක්. එහිදී විශාල ලෙස ඍජු විසඳුම් ලබා දීම් මෙන්ම අඩවශයෙන් සමූපකාර මට්ටමෙන්ද සමාජය වෙත මෙම සහාය ලබා දී තිබෙනවා.” යනුවෙන් LOLC සමාගම මෙහිදී සඳහන් කර තිබේ.

එසේම කාන්තාවන් මූලික කරගත් ව්‍යවසායන් වෙත සහාය ලබා දීමේ බැංකුවෙහි උත්සාහයන් කැපී පෙනෙන බවත් LOLC සමාගම පවසයි. ඒ හරහා ග්‍රාමීය කර්මාන්ත තුළ කාන්තා දායකත්වය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවත් සඳහන් කරයි.

ඒ අනුව සණස සංවර්ධන බැංකුවෙහි පවතින වටිනාකම් සහ දැක්ම LOLC සමාගමේ වටිනාකම් සහ දැක්ම හා සමාන වන බවත් LOLC සමාගම මෙම ආයෝජනය පිළිබඳ කරුණු සඳහන් කරමින් පවසා සිටියි.

Visits: 607