සියපත ෆිනෑන්ස් වෙතින් රු. බිලියන 1.5ක් වටිනා ණයකර නිකුතුවක්

කොළඹ කොටස් හුවමාරුවෙහි විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් යටතේ ලැයිස්තුගත සියපත ෆිනෑන්ස් පීඑල්සී සමාගම මගින් සිදුකරන ණයකර නිකුතුව ලබන අගෝස්තු 26 වැනිදා (අනිද්දා) විවෘත කරන බව පවසයි.

මෙහිදී අප්‍රදාන, සුරක්ෂිත නොවූ, ලැයිස්තුගත, පිරිමුදවාගත හැකි, වර්ගකෙරූ පස් අවුරුදු කාලයකින් (2021/2026)  කල් පිරෙන ණයකර නිකුතුවක් ලෙස මෙම නිකුතුව සිදු කරන බව සියපත ෆිනෑන්ස් පීඑල්සී සඳහන් කරයි.

ඒ අනුව මෙම ණයකර නිකුතුවේ පළමු නිකුතුව ලෙස අප්‍රදාන, සුරක්ෂිත නොවූ, ලැයිස්තුගත, පිරිමුදවාගත හැකි, වර්ගකෙරූ පස් අවුරුදු කාලයකින් (2021/2026)  කල් පිරෙන ණයකර කොටස් මිලියන 10ක් (10,000,000ක්) නිකුත් කිරීම සැලසුම වී ඇත.

එසේම ඒ සඳහා වන අධි දායකත්වයත් සමගින් තවත් එවැනිම ණයකර කොටස් මිලියන 5ක් (5,000,000ක්) නිකුත් කිරීමටත් සමාගම අපේක්ෂා කර සිටියි.

ඒ අනුව මෙම ණයකර නිකුතුව මගින් රැස් කරගැනීමට බලාපොරොත්තු වන උපරිම වටිනාකම රුපියල් මිලියන 1,500ක් එනම් රුපියල් බිලියන 1.5 ක් (1,500,000,000ක්) බව සියපත ෆිනෑන්ස් පීඑල්සී වැඩිදුරටත් සඳහන් කරයි.

මෙහිදී මෙම ණයකර නිකුතුව වාර්ෂිකව ගෙවනු ලබන 9.46%ක ස්ථාවර පොලී අනුපාතයක් යටතේ (වාර්ෂික පොලී අනුපාතය 9.46%) නිකුත් කෙරෙන බවත් සමාගම පවසයි.

මෙම ණයකර නිකුතුවෙහි ඒකාබද්ධ කළමනාකරුවන් ලෙස මහජන බැංකුවෙහි ආයෝජන බැංකුකරණ ඒකකය සහ එස්.සී. සෙකියුරිටීස් (පෞද්) සමාගම ක්‍රියා කරයි. සියපත ෆිනෑන්ස් පීඑල්සී සම්පත් බැංකුවෙහි පුර්ණ අනුබද්ධිත බැංකු නොවන මූල්‍ය සමාගමකි.

Visits: 133