Ideal Finance මෙම මූල්‍ය වර්ෂය තුළ ශාඛා ජාලය දෙගුණ කිරීමේ ඉලක්කයක

මෙම මූල්‍ය වර්ෂය (2021/22) තුළ නව ශාඛා 15 ක් විවෘත කර සමාගමේ ශාඛා ජාලය දෙගුණයකටත් වඩා වැඩිකර ගැනීමේ අරමුණින් Ideal Finance සිය 13 වන ශාඛාව පසුගියදා වැලිමඩදී විවෘත කළ බව පවසයි.

මෙම ප‍්‍රදේශය උඩරට එළවළු නිෂ්පාදනයේ කේන්ද්‍රස්ථානයක් වන අතර විවිධ නිෂ්පාදන සඳහා ප‍්‍රධාන වෙළෙඳ මධ්‍යස්ථානයක් ලෙස ක‍්‍රියා කරන කැප්පෙටිපොල ආර්ථික මධ්‍යස්ථානයේ පිහිටීම ආදී එම ප‍්‍රදේශයේ ඇති වැදගත්කම සැලකිල්ලට ගෙන අයිඩියල් ෆයිනෑන්ස් විවෘත කළ මෙම වැලිමඩ ශාඛාවෙන් ලීසිං, ණය පහසුකම් (රන් ණය ද ඇතුළත්ව), තැන්පතු වැනි සේවා රැසක් පාරිභෝගිකයින් හට ලබා ගත හැකිය.

මෑත කාලීනව සිදුවූ ප‍්‍රධාන වර්ධනයන් කිහිපයක් හේතු කොටගෙන අයිඩියල් ෆයිනෑන්ස් සිය ශාඛා ජාලය පුළුල් කරමින් සිටින අතර මේ යටතේ වැලිමඩ ශාඛාව විවෘත කිරීමෙන් පසුව සමාගම සැප්තැම්බර් මාසයේදී දිවයිනේ ප‍්‍රධාන ස්ථාන කිහිපයක නව ශාඛා විවෘත කිරීමට නියමිතව ඇත. මෙම ප‍්‍රධාන වර්ධනයන් අතරට ඉන්දියාවේ Mahindra Financial Services Limited (MMFSL) වෙතින් නව විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර ගැනීම, Fitch ශ්‍රේණිගත කිරීම්වල IFL ශ්‍රේණිගත කිරීම ඉහළ නැංවීම සහ සමාගම පසුගිය (2020/21) මූල්‍ය වර්ෂයේ විශිෂ්ටතම මූල්‍ය කාර්ය සාධනය වාර්තා කිරීම යනාදිය ඇතුළත් වේ.

මෙම නවතම ආයෝජනය සමඟ MMFSL මේ වන විට අයිඩියල් ෆයිනෑන්ස් හි 58.2% ක කොටස් හිමිකාරීත්වය දරන විශාලතම කොටස් හිමියා බවට පත්ව තිබෙන අතර ඒ සමඟම අයිඩියල් ෆයිනෑන්ස් MMFSL හි දෙවන විදේශීය අනුබද්ධිත ආයතනය බවට පත්ව තිබේ. MMFSL විසින් IFL හි සිදු කළ සමස්ත ආයෝජනය රුපියල් බිලියන 2 කි. මීට පෙර 2020 දී MMFSL අයිඩියල් ෆයිනෑන්ස් හි 38.2% ක කොටස් ප‍්‍රමාණයක් හිමි කරගත් අතර එමඟින් තම කළමනාකරණය යටතේ පවතින ඩොලර් බිලියන 11 කට අධික වත්කම් සහිත MMFSL වැනි දැවැන්ත මූල්‍ය ආයතනයකින් සමාගම සවිබල ගැන්විණි. එය ශ්‍රී ලංකාවේ සමස්ත බැංකු ක්ෂේත‍්‍රයම ඉක්මවා ගිය දැවැන්ත ආයෝජනයක් ලෙස පෙන්වා දිය හැකිය.

Fitch Ratings විසින් මෑතකදී අයිඩියල් ෆයිනෑන්ස් හි ශ්‍රේණිගත කිරීම ‘BB-(lka)’ සිට ‘AA-(lka)’ දක්වා ඉහළ දමමින් සමාගමේ ස්ථාවරභාවය සහ අපේක්ෂාවන් කෙරෙහි වැඩි විශ්වාසයක් ලබා දුන්නේය.

මෙම වර්ධනයන් සඳහා ශක්තියක් වෙමින්, අයිඩියල් ෆයිනෑන්ස් 2021 මාර්තු 31 න් අවසන් වූ මූල්‍ය වර්ෂය තුළ සිය විශිෂ්ටතම වාර්ෂික මූල්‍ය කාර්යසාධනය වාර්තා කිරීමට සමත් වූයේ, කොවිඞ්-19 වසංගතය හේතුවෙන් පැන නැඟුණු අභියෝග රාශියක් ජය ගනිමින් වීම විශේෂත්වයකි. මෙම කාලය තුළම, රටේ බැංකු නොවන මූල්‍ය ආයතන (NBFI) ක්ෂෙත‍්‍රය තුළ සැලකිය යුතු පහළ වැටීමක් වාර්තා කළ අතර මේ යටතේ ලාභදායීතාවයේ පහළ වැටීමක් හා අක‍්‍රීය ණයවල ඉහළ යාමක් දක්නට ලැබුණි.

කෙසේවෙතත්, ක්ෂේත‍්‍රයේ නව ප‍්‍රවණතාවන්ට අභියෝග කරමින්, අයිඩියල් ෆයිනෑන්ස් ලාභදායීත්වයේ වැඩි වීමක්ද අක‍්‍රීය ණය අනුපාතයේ (NPL) අඩු වීමක් ද වාර්තා කළේය. 2021 මාර්තු 31 න් අවසන් වූ මූල්‍ය වර්ෂය තුළ සමාගමේ බදු පෙර ලාභය (PBT) පසුගිය වසරට සාපේක්ෂව 76%කින් වැඩි වී රුපියල් මිලියන 288.4ක් බවට පත් විය. මේ අතර 2020 වසරට සාපේක්ෂව සමාගමේ බදු පසු ලාභය (PAT) 74% කින් වර්ධනය වී රුපියල් මිලියන 183.8 ක් වී ඇත. මූල්‍ය වර්ෂය සඳහා දළ අක‍්‍රීය අනුපාතය පසුගිය වසරේ 5.3% සිට 3.3% දක්වා අඩු වෙමින් කැපී පෙනෙන වර්ධනයක් අත්කර ගැනීමට සමාගමට හැකි විය.

”මෙම ආයෝජනයෙන් Mahindra & Mahindra Financial Services අයිඩියල් ෆයිනෑන්ස් සහ ශ්‍රී ලංකාව කෙරෙහි විශ්වාසය තැබීම රටේ හා අයිඩියල් ෆයිනෑන්ස් හි ස්ථාවරත්වය මෙන්ම සංවර්ධනය කෙරෙහි පෙන්නුම් කළ කාලෝචිත පියවරක්. අභියෝග රාශියක් මධ්‍යයේ ක්ෂේත‍්‍රයේ සියලූම දර්ශකවලින් පෙන්නුම් කෙරෙන පරිදි සමාගම විශිෂ්ට කාර්යසාධනයක් වාර්තා කරමින් පෙන්නුම් කරන්නේ අයිඩියල් ෆයිනෑන්ස් කෙරෙහි පාරිභෝගිකයින් තබා ඇති විශ්වාසයයි.’’ යනුවෙන් අයිඩියල් ෆයිනෑන්ස් සභාපති නලින් වෙල්ගම මහතා පැවසුවේය.

Visits: 160