24 වැනි “ජනාධිපති අපනයන සම්මාන උළෙල” දෙසැම්බර් 03 BMICH හිදී

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය 24 වැනි වරටත් පවත්වනු ලබන ජනාධිපති අපනයන සම්මාන උළෙල 2021 දෙසැම්බර් මස 03 වැනි දින අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට මේ වන විට කටයුතු සූදානම්ව ඇතැයි එම මණ්ඩලය පවසයි.

මෙවර සම්මාන උළෙලේ ඇති වැදගත්කම පිළිබදව මෙලෙස අදහස් දක්වා සිටින අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති හා ප්‍රධාන විධායක සුරේෂ් ඩී. ද මෙල්  මහතා. “මෙවර සම්මාන ප්‍රදානය 2019/20 හා 2020/21 මුදල් වර්ෂයන්ට අදාලව මෙරට විශිෂ්ඨ අපනයනකරුවන් ඇගයීම සඳහා සිදු කරනු ලබනවා. ප්‍රධාන කාණ්ඩ 2ක් යටතේ මෙවර සම්මාන පිරිනැමෙන අතර එක් එක් මූල්‍ය වර්ෂය සඳහා සමස්තසම්මාන 12ක්සහනිෂ්පාදනහාසේවාසඳහා ආංශික සම්මාන 53ක්බැගින් ද පිරිනමනු ලබනවා.”  යනුවෙන් පවසා සිටියි.

නව රජයේ ප්‍රතිපත්ති රාමුවට අනුකූලව නව වෙළඳපලවල් (වෙළඳපල විවිධාංගීකරණය), නව්‍ය නිෂ්පාදන (නිෂ්පාදන විවිධාංගීකරණය) හඳුන්වා දීම සහ නිෂ්පාදන සඳහා අගය එකතු කිරීම මගින් ශ්‍රී ලංකාවේ අපනයනය පුළුල් කිරීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය නව උපාය මාර්ගක්‍රියාත්මක කර ඇති අතර මෙම නව උපාය මාර්ග මත පදනම්ව, පසුගිය වසර කිහිපය තුළ පිරිනමන ලද ජනාධිපති අපනයන සම්මාන නැවත සමාලෝචනය කර නව සමස්ත සම්මාන සහ ආංශික සම්මාන හඳුන්වා දී ඇත.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වන සභාපතිවරයා, “ඒ අනුව, නිෂ්පාදන විවිධාංගීකරණය සඳහා හොඳම අපනයනකරු, වසරේ හොඳම අගය එකතු කළ අපනයනකරු,  නැගී එන වෙළෙඳපොළවල ක්‍රියාකාරී අපනයනකරුහා වසරේ නැගී එන අපනයනකරු වැනි සමස්ත සම්මාන මෙන්ම පසුගිය වසරට සාපේක්ෂව නව ආංශික සම්මාන ද හඳුන්වා දෙනු ලැබුවා.” යනුවෙන්ද පවසා සිටියි.

තව ද, නිෂ්පාදන හා සේවා ආංශික සම්මාන සඳහා “හොඳම අපනයනකරුවා” තෝරා ගැනීමේ දී  අපනයන ආදායම පමණක් නොව තවත් නිර්ණායක කිහිපයක් එනම්, අපනයන සඳහා අගය එකතු කිරීම,  රැකියා උත්පාදනය, වෙලඳපොල විවිධාංගීකරණය, අපනයන ආදායමේවර්ධනය ආදී නිර්ණායක යොදා ගනිමින් ඇගයීම සිදු කරන බැවින් වඩාත් තරගකාරිත්වයකින් යුතුව සම්මානලාභීන් තෝරා ගැනීමට හැකියාව ලැබී තිබෙන බවත් සභාපතිවරයා සඳහන් කර තිබේ.

එමෙන්ම 2020/21 මූල්‍ය වර්ෂය සඳහා සම්මානලාභීන් තෝරා ගැනීමේ දී කොවිඩ් 19 වසංගත තත්ත්වය යටතේ අපනයන ක්ෂේත්‍රයේ රැඳී සිටීම සඳහා අපනයනකරුවන් විසින් දරණ ලද පරිශ්‍රමය ද ඇගයීමට ලක් කරනු ලබන බවත් අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති හා ප්‍රධාන විධායක සුරේෂ් ඩී. ද මෙල්  මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

Visits: 87