2021 අවසන් වනවිට ඩො. බිලියන 4ක සංචිතයක් සඳහා රටට ඩොලර් ලැබෙන්නේ මෙහෙමලු

මෙම වසර අවසන් විට මෙරට විදේශ මුදල් සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 4ක් පමණ දක්වා වර්ධනය කරගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි මහ බැංකුව සඳහන් කරයි. අගෝස්තු මාසය තුළදී සහ ඉන් ඉදිරියේදී මෙරට ලැබීමට නියමිත විනිමය හුවමාරු පහසුකම් ඇතුළු විදේශ විනිමය ගලාඒම් හරහා මෙම තත්ත්වය උදා වෙනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කර සිටියි.

පසුගිය ජුලි මාසය අවසන් වන විට මෙරට විදේශ මුදල් සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් 2.8ක් දක්වා පහත වැටී තිබේ. එය මාස 1.8ක ආනයන සඳහා පමණක් ප්‍රමාණවත් වන්නක් බව මහ බැංකුව පවසයි. කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් සංචාරක කර්මාන්තය, ඇගලුම් සහ ප්‍රේෂණ ඇතුළු මෙරට ප්‍රධානතම විදේශ විනිමය ඉපැයීම් මාර්ග රැසක්ම අවහිර වී තිබීම මෙම ඩොලර් අඩුවීමට හේතුව වී ඇත.

එසේම පසුගිය ජුලි 27 වැනිදා වනවිට කල් පිරුණු එක්සත් ජනපද ඩොලර් බිලියනයක ජාත්‍යන්තර බැඳුම්කරයක් පියවීමත් මෙලෙස රට තුළ ඩොලර් සංචිත පහත වැටීමට ආසන්නතම හේතුව වී තිබේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා මහ බැංකුව අසල්වැසි බංග්ලාදේශය, ඉන්දියාව සමගින් මෙන්ම චීනය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමගින් ඇති කරගන්නා එකඟතාවත් අනුව ඉදිරියේදී තවත් එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5කට ආසන්න මුදලක් මෙම සංචිත වෙත එක් කර ගැනීම සැලසුම වී ඇතැයි පවසයි.

ඒ යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව බංග්ලාදේශය සමගින් ඇති කරගෙන තිබෙන එක්සත් ජනපද ඩොලර් මිලියන 250ක විනිමය හුවමාරු පහසුකම (SWAP) යටතේ ඩොලර් මිලියන 50ක මුදලක් පසුගියදා මෙරටට හිමි විය. ඒ අනුව මෙම මුදල්හිමි වීම කොටස් වශයෙන් සිදුවන බව මහ බැංකුව පවසයි.  

පසුගියදා මහ බැංකුවේදී පැවැති මුදල් ප්‍රතිපත්ති විවරණ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ මහ බැංකුවෙහි නියෝජ්‍ය අධිපතිවරයෙකු වන මහින්ද සිරිවර්ධන මහතා, “මේ විනිමය හුවමාරු එකඟතාව යටතේ පළමු එක්සත් ජනපද ඩොලර් මිලියන 50 ක මුදල මේ සතියේදී අපිට හිමිවීමට නියමිතව තිබෙනවා. තවත් මිලියන 100ක් ඉදිරි වැඩ කරන දින පහක් ඇතුළතදී මෙරටට හිමි වේවි. ඒ වගේම තවත් මිලියන 50ක මුදලක් එවැනිම දින ගණනක් තුළදී මෙරටට හිමිවේවි.” යනුවෙන් පවසා තිබේ.

මේ අතර, ශ්‍රී ලංකාව අගෝස්තු මාසය අවසන් වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) SDR (Special Drawing Rights) යටතේ ලබා දෙන එක්සත් ජනපද ඩොලර් මිලියන 780ක පහසුකමක්ද බලාපොරොත්තුව සිටියි.

එසේම ශ්‍රී ලංකාව චීන සංවර්ධන බැංකුව වෙතින් චීන රෙන්බින්බි බිලියන 2.0ක්ද අපේක්ෂාවෙන් සිටින අතර එහි වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 308ක් හා සමාන වෙයි. මෙය පසුගිය වසරේදී එම බැංකුව විසින් අනුමත කළ එක්සත් ජනපද ඩොලර් බිලියන 1.2ක ණය පහසුකමෙහි තෙවැනි සහ අවසන් කොටස ලෙසින් හිමි වන්නකි.

එහි පළමු සහ දෙවැනි වාරික ලෙස එක්සත් ජනපද ඩොලර් මිලියන 500ක් බැගින් පසුගිය වසරේ මාර්තුවේදී සහ මේ වසරේ අප්‍රේල මාසයේදී මෙරටට හිමිව තිබේ.

මීට අමතරව සාර්ක් සංවිධායේ මූල්‍ය විනිමය හුවමාරු එකඟතාව යටතේද ශ්‍රී ලංකාව අගෝස්තු මාසයේදී තවත් එක්සත් ජනපද ඩොලර් මිලියන 400ක මුදලක් ඉන්දියානු සංචිත බැංකුවෙන් බලාපොරොත්තුව සිටින බව පවසයි. මීට පෙර ඉන්දියාවෙන් ලබා ගත් මෙවැනිම විනිමය හුවමාරු පහසුකමක් පසුගිය පෙබරවාරි මාසයේදී පියවා දැමීමෙන් මාස හයක විරාමයකින් පසුව ශ්‍රී ලංකාව යළිත් ඒ සඳහා ඉල්ලුම් කළ අතර මේ වනවිට ඊට සුදුසුකම් ලබා සිටියි.

මීටත් අමතරව තවත් එක්සත් ජනපද ඩොලර් බිලියන 1ක විශේෂි විනිමය හුවමාරු පහසුකමක් සම්බන්ධයෙන් ඉන්දියානු සංචිත බැංකුව සමගින් සාකච්ඡා කරමින් සිටින බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී. ලක්ෂ්මන් මහතා මීට පෙර පවසා තිබුණි.

ඒ අනුව මෙම වසර අවසන් වනවිට විදේශ මුදල් සංචිත තුළ එක්සත් ජනපද ඩොලර් බිලියන 4ක මුදලක් පවත්වා ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි මහ බැංකුවේ අපේක්ෂාව වී තිබේ.

එසේම මෙම අවස්ථාවට සමගාමීව දැනට රටතුළ පවතින ඩොලර් මුදල් රටින් පිටවීම වැළැක්වීම සඳහා වන ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත්, මෙම ඩොලර් අරපරිස්සමින් භාවිතා කරන ලෙසද් මහ බැංකුව ජනතාව වෙත පසුගියදා දැනුම් දී තිබුණි.

Visits: 751