රයිගම් සමූහයේ රූපලාවන්‍ය සහ ගෘහභාණ්ඩ නිෂ්පාදන සමාගම් 2023 දී ලැයිස්තුගත කෙරෙනවාලු

කිංග්ඩම් ඔෆ් රයිගම් සමූහ ව්‍යාපාරයට අයත් ව්‍යාපාර අතරින් විලවුන් ආලේපන නිෂ්පාදන සහ ගෘහභාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයන් 2023 වසරේදී කොළඹ කොටස් හුවමාරුව තුළ මූලික මහජන නිකුතූන් සිදු කිරීමට සූදානමින් සිටින බව පවසයි.

එම සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ, සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය රවී ලියනගේ මහතා පසුගියදා ද සන්ඩේ මෝර්නින්ග් පුවත්පත වෙත මෙම කරුණු අනාවරණය කර තිබේ. සිය සමාගමේ මූලික සැලසුමට අනුව මේ වසරේදී එම මහජන කොටස් නිකුතුව සිදු කිරීමට කටයුතු කළද, දැනට රට තුළ පවතින COVID-19 වසංගතය නිසා උද්ගතව පවතින තත්ත්වය හේතුවෙන් එම නිකුතුව ලබන 2023 වසර දක්වා කල් දැමීමට සමාගම කටයුතු කර ඇත.

“අද වනවිට වසංගතය නිසා අභියෝග රැසක් වෙතම මුහුණ දෙන්න සිදු වෙලා තිබෙනවා. කොහොම වුණත් 2023 වසරේදී අපි අපේ විලවුන් ආලේපන සහ ගෘහ භාණ්ඩ සන්නාම කොළඹ කොටස් හුවමාරුව තුළ ලැයිස්තුගත කරනවා. ඊට පස්සේ අපේ පස් අවුරුදු සැලසුම යටතේ රයිගම් සමාගමේ අනෙකුත් පරිපාලිත සමාගම්ද ලැයිස්තුගත කිරීම ආරම්භ කරනවා.” ආචාර්ය රවී ලියනගේ සඳහන් කර තිබේ.

අද වනවිට රයිගම් සමූහයට අයත් පරිපාලිත සමාගමක් වන රපසුගියිගම් වයඹ සෝල්ටර්න්ස් (පෞද්) සමාගම කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කෙරී තිබේ. එම සමාගම පසුගියදා සිය ලාභෘංශ නිකුත් කිරීමක්ද ප්‍රකාශ කළේය.

මීට අමතරව රයිගම් හර්බල් රිමෙඩිස් (පෞද්) සමාගම, රයිගම් ක්‍රියේෂන්ස් (පෞද්) සමාගම, සදර්න් සෝල්ට් කම්පැනි (පෞද්) සමාගම, ඊස්ටර්න්ස් සෝල්ට් කම්පැනි (පෞද්) සමාගම, ඩ්‍රීම් ලයිෆ් සයන්ස් (පෞද්) සමාගම, වීනස් කොන්සොලිඩේටඩ් (පෞද්) සමාගම, සොරානා ලංකා (පෞද්) සමාගම යනාදියද රයිගම් සමූහය යටතේ ක්‍රියාත්මක වෙයි.

මේ අතරින් ඩ්‍රීම් ලයිෆ් සයන්ස් සමාගම මගින් සුප්‍රසිද්ධ ස්වේත චන්දනාදීලේපය නම් රූපලාවන්‍ය ආලේපන නිෂ්පාදනය ඉදිරිපත් කර තිබේ. රයිගම් සමූහයේ ගෘහභාණ්ඩ නිෂ්පාදනාගාරය හොරණ පැල්පොල ප්‍රදේශයේ පිහිටා ඇත.

මීට අමතරව රයිගම් සෝයාමීට් සහ රුචි සෝයා ලෙස සෝයාමීට් සන්නාම දෙකක්ද, නිප්ස් නමින් බිස්කට් සහ කුකීස් සන්නාමයක්ද, රයිගම් සෝල්ට් නමින් ලුණු නිෂ්පාදන සන්නාමයක්ද, නීරෝගා නමින් ශාකසාර නිෂ්පාදන සන්නායක්ද, ගැන්ගෝ නමින් ක්ෂණික පළතුරුමය පාන සන්නාමයක්ද, රයිගම් ඉදිආප්ප පිටි සන්නාමයද, SOM-CHAI නමින් ආහාර රසකාරක සන්නාමයක්ද, Angel නමින් ක්ෂණික වියලි යීස්ට් සන්නාමයක්ද, ආර්යා නමින් සනීපාරක්ෂක තුවා සන්නාමයක්ද, රයිමයිට් නමින් යීස්ට් සාරය රැගත් නිෂ්පාදන සන්නාමයක්ද ඇතුළුව තවත් බේකරි සහ කෝපි නිෂ්පාදන සන්නාමද අද වනවිට කිංග්ඩම් ඔෆ් රයිගම් සමූහය යටතේ වෙළෙඳ පොළට නිකුත් කෙරේ.

මේ අතර ලබන වසර තුළදී නව ව්‍යාපාර දෙකක් වෙත පිවිසීමටද අදහස් කරගෙන සිටින බව ලියනගේ මහතා මෙහිදී පුවත්පත වෙත අනාවරණය කර ඇත.

ඒ අතරින් එක් ව්‍යාපාරයක් ලෙස ගල්ගමුව ප්‍රදේශයේ ඉදිකරන උදෑසන ධාන්‍යමය  ආහාර නිෂ්පාදන කර්මාන්තශාලාවක් වන බවත් ඔහු සඳහන් කර ඇත. මෙම නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය පහසුවෙන් ළගා කරගැනීම සඳහා ගල්ගමුව ප්‍රදේශය ඊට තෝරාගෙන ඇත. මීට අමතරව බදුල්ල ප්‍රදේශය තුළ සහල් කර්මාන්තශාලාවක් ඉදිකරන බවත් රවී ලියනගේ මහතා වැඩිදුරටත් පවසා තිබේ.

Visits: 291