තවත් සමාගම් 12ක් CSE හි ලැයිස්තුගතවිමට සූදානමින්ලු

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගතවීම සඳහා තවත් පෞද්ගලික සමාගම් සහ පවුල් හිමිකාරීත්වය සහිත සමාගම් 12කට ආසන්න සංඛ්‍යාවක් සූදානමින් සිටින බව මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ දිනයේදී පළ කෙරුණු සන්ඩේ ටයිම්ස් පුවත්පත තුළ මෙම කරුණු ඇතුළත්ව තිබේ. ඒ අතරින් අබාන්ස් පීඑල්සී, ලංකා ක්‍රෙඩිට් ඇන්ඩ් බිස්නස් ෆිනෑන්ස් ලිමිටඩ්, සමූපාකාර රක්ෂණ සමාගම සහ හෙල ක්ලෝතිං යන සමාගම් දැනටමත් මෙම ලැයිස්තුගතවීම් සම්බන්ධයෙන් අනාවරණය කර තිබෙන බවද පුවත්පත පවසයි.

මෙහිදී අදාළ සමාගම්වල මූලික මහජන කොටස් නිකුතූන් මේ වසරේදී සිදු කිරිම සඳහා උනන්දු කරවීම සඳහා වන සියලුම ආකාරයේ ප්‍රවර්ධන කටයුතු කොළඹ කොටස් හුවමාරුව මෙන්ම සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින් මේ වන විටත් සිදු කරමින් සිටින බවත් පැවසෙයි.

ඉහත සඳහන් කළ සමාගම් අතරින් සමූපාකාර රක්ෂණ සමාගම පසුගිය සතියේදී සිය මූලික මහජන කොටස් නිකුතුවක් පිළිබඳ සැලසුම් අනාවරණය කළ අතර, ඇගලුම් ක්ෂේත්‍රයේ සුප්‍රසිද්ධ හෙල ක්ලොතිං සමාගම සිය මහජන නිකුතුවක් හරහා රැස් කරගන්නා ප්‍රාග්ධනය සිය උතුරු අප්‍රිකානු ව්‍යාපාර සහ නැගෙනහිර අප්‍රිකානු ව්‍යාපාර ප්‍රවර්ධනය සඳහා යොදා ගන්නා බව පවසා තිබේ. එසේම ලංකා ක්‍රෙඩිට් ඇන්ඩ් බිස්නස් ෆිනෑන්ස් ලිමිටඩ් සමාගමත් සිය සැලසුම් පසුගිය සතියේදී අනාවරණය කර තිබුණි.

විශේෂයෙන්ම වසර තුළ මේ දක්වා වඩාත් සාර්ථකව සිදු කෙරුණු වින්ඩ්ෆෝර්ස් ලිමිටඩ්, ක්‍රිස්වර්ල්ඩ් ලිමිටඩ්, ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩෙන්සීස් සහ ජැට් හෝල්ඩිංග්ස් යනාදී සමාගම්වල මූලික මහජන කොටස් නිකුතූන් හරහා ලැබුණු  දිරිගැන්වීම් හේතුවෙන් මෙම සමාගම් මෙලෙස ලැයිස්තුගතවීම් වෙත ඉදිරිපත්ව ඇත.

මේ අතර පුවත්පත වෙත අදහස් දක්වා ඇති ප්‍රාග්ධන වෙළෙඳ පොළෙහි නිලධාරීන්, රටෙහි ක්‍රියාත්මක තවත් මුල් පෙළේ පවුල් ව්‍යාපාර රැසක්ම ලැයිස්ගුතවීමට සූදාමින් සිටින බව පවසා තිබේ. විශේෂයෙන්ම ආපදා කළමනාකරණ පද්ධතිය, කොටස් හුවමාරු ගනුදෙනු සඳහා හඳුන්වාදී ඇති DVP ක්‍රමවේදය යනාදිය ඉදිරි මාස කිහිපයේදී කොළඹ කොටස් හුවමාරුව වෙත ලැබෙන විදෙස් ආයෝජකයන්ගේ විශ්වාසය ඉහළ නංවනු ඇතැයි පැවසෙයි. ඒ හරහා ද බොහෝ සමාගම් කොළඹ කොටස් හුවමාරුව තුළ ලැයිස්තුගතවීමට ආකර්ෂණය වෙනු ඇතැයිද එම නිලධාරියා පවසා තිබේ.

මීට අමතරව ඉදිරියේදී කොළඹ කොටස් හුවමාරුව තුළ බහු ව්‍යාවහාර මුදල් පුවරුවක් දියත් කිරීමෙන් අනතුරුව දේශීය සමාගම් වෙත විදේශ මුදල් ඒකක හරහා සිය ප්‍රාග්ධනය රැස් කරගැනීමට හැකියාව ලැබෙනු ඇති බවත්, එයද කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු වේදිකාව වඩාත් ආකර්ෂණීය ස්ථානයක් බවට පත්කරනු ඇති බවත් පුවත්පත පවසයි.

උදාහරණයක් ලෙස මෙරට ක්‍රියාත්මත මුල් පෙළේ තොරතුරු තාක්ෂණික සමාගමක් වන 99X Technologies සමාගම මෙලෙස ඩොලර් මුදල් ඒකක හරහා ක්‍රියාත්මක පුවරුවක් පිළිබඳ අවශ්‍යතාව මීට පෙර මතු කර තිබුණි.

Visits: 853