කොටගල ප්ලාන්ටේෂන්ස් පීඑල්සී හිමිකම් නිකුතුවට අධි දායකත්වයක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කොටගල ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගම මගින් පසුගිය අගෝස්තු 03 වැනිදා ආරම්භ කළ හිමිකම් නිකුතුව අධි දායකත්වයක් සමගින් නිමාවට පත්ව ඇතැයි එම සමාගම සඳහන් කරයි.

ඒ අනුව මෙම නිකුතුවේදී කොටගල ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගමේ කොටස් මිලියන 263ක් (263,287,500ක්) නිකුත් කෙරුණු අතර, එක් කොටසක වටිනාකම රුපියල් 3ක් විය.

මුල් සඳහනට අනුව අගෝස්තු 11 වැනිදා මෙම හිමිකම් නිකුතුව සඳහා ඉල්ලුම්පත්‍ර භාර ගැනීම් නිමාවීමට නියමිතව තිබුණත් පසුව සමාගම මගින් එය අගෝස්තු 17 දක්වා දිග් කිරිම සිදු විය.

ඒ අනුව ගණන් බලා ඇති ආකාරයට මෙම නිකුතුවේදී සමස්ත දායකත්වයේ වටිනාකම රුපියල් බිලියන 1.0ක් (1,010,523,624ක්) බව කොටගල ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගම පවසයි. මෙය ඉල්ලුම් කළ අමතර කොටස් වටිනාකම්ද එක්ව අගය බව සඳහන් වෙයි.

නියමිත කොටස් ගණන සඳහා දායකත්වයක් ලැබුණේ නම් හිමි වන වටිනාකම රුපියල් මිලියන 789.8 ක් (789,862,500ක්) පමණ වෙයි.

කොළඹ කොටස් හුවමාරුවෙහි වැවිලි සමාගම් යටතේ ලැයිස්තුගත කොටගල ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගම සතු වතුයායන් තුළ තේ, රබර් සහ ඔයිල් පාම් වගාවන් සිදු කරයි.

2020 මාර්තු 31වැනිදා වනවිට කොටගල ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගමේ කොටස් හිමිකාරීත්වයෙන් කොටස් 31,650,000ක් එනම් 42.07%ක ප්‍රතිශතයක් කොන්සොලිඩේටඩ් ටී ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් සමාගමට අයත්ය. එසේම කොටස් 11,103,150ක් එනම් 14.76%ක ප්‍රතිශතයක් ලංකෙම් ටී ඇන්ඩ් රබර් ප්ලාන්ටේෂන්ස් පෞද්ගලික සමාගම වෙත හිමිය.

Visits: 299