“2021 ඉන්දියාවේ IPO වසර වේවි” – ඉන්දියානු සංචිත බැංකුව කියයි

2021 වසර ඉන්දියාවේ මහජන කොටස් නිකුතු වසර (IPO) වසර බවට පත් වෙනු ඇතැයි එරට මහ බැංකුව හෙවත් ඉන්දියානු සංචිත බැංකුව (RBI – Reserve Bank of India) පවසයි.

State of Economy නමින් ඉන්දියාවේ වර්තමාන ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් පසුගියදා ප්‍රසිද්ධියට පත් කළ සිය ලිපියක් තුළ බැංකුව මේ පිළිබඳ සඳහන් කර සිටියි.

විශේෂයෙන්ම එක්සත් ජනපද ඩොලර් බිලියන 1කට අධික වටිනාකමක් සහිත ඉන්දියානු සමාගම් (Unicorn) මගින් සිදු කරන මහජන කොටස් නිකුතූන් හරහා දේශීය කොටස් වෙළෙඳ පොළ ඉහළ පිබිදීමකට ලක් වෙනු ඇති බවත්, ගෝලීය ආයෝජකයන් ඉන් ඉතා උනන්දුවට පත් වෙනු ඇති බවත් ඉන්දියානු සංචිත බැංකුව මෙහිදී පවසා තිබේ.

උදාහරණ ලෙස ගෙවුණු ආසන්න මාස කිහිපයේදී නව යුගයේ සමාගම් මගින් සිදු කරන ලද වඩාත් සාර්ථක මූලික මහජන කොටස් නිකුතූන් හරහා ඉන්දියානු තාක්ෂණය සඳහා වන ගැනුම්බරතාව ඉතාමත් හොඳින් පෙන්නුම් කරන බවද බැංකුව සඳහන් කරයි.

“මෙම වර්ධනයේ හදගැස්ම මූල්‍ය වෙළෙඳ පොළ වඩාත් උද්යෝගිමත් කරනවා. 2021 වසර ඉන්දියාවේ IPO වසර බවට පත්වේවි. ආහාර ඩිලිවරි කරන ඇප් වැඩසටහනක් වන Zomato මගින් සිදු කළ මූලික මහජන කොටස් නිකුතුව සඳහා 38 වාරයකට වඩා වැඩියෙන් දායකත්වයක් හිමිව තිබීමත් සමගින්ම මෙතෙක් ලැයිස්තුගත නොවූ ඉන්දියානු යුනිකෝන් සමාගම් සහ ස්ටාර්ට්-අප් ව්‍යාපාර මේ සඳහා යොමුවීමක් දකිනවා. මේ හරහා දේශීය කොටස් වෙළෙඳ පොළ වඩාත් ඉහළ පිබිදීමකට ල්කවේවි. ඒ වගේම ගෝලීය ආයෝජකයන් වඩාත් තෘප්තිමත් කරාවි.” මහ බැංකුව මෙහිදී සඳහන් කර තිබේ.

ඉන්දියානු සංචිත බැංකුවෙහි නියෝජ්‍ය අධිපති මයිකල් ඩෙබරාටා ගේ මූලිකත්වයෙන් යුත් කණ්ඩායමක් මෙම ලිපිය සකස් කර ඇත. ඒ අනුව මෙම ලිපියේ ඇතුළත් කරුණු අදාළ කර්තෘවරුන්ගේ අදහස වන බවත්, ඉන් ඉන්දියානු සංචිත බැංකුවෙහි දැක්මක් නියෝජනය නොවන බවත් ඉන්දියානු සංචිත බැංකුව විසින් සඳහන් කර තිබේ.

“දැනටමත් ඉන්දියාවේ ගෙවීම් සහ මූල්‍ය සේවා ඇප් වැඩසටහනක් මගින් යෝජනා කර තිබෙන එක්සත් ජනපද ඩොලර් බිලියන 2.2ක් වටිනා ලැයිස්තුගතවීම ඩිජිටල් ගෙවීම් විකල්ප, ඉ-වානිජ්‍ය මෙන්ම ලොජිස්ටික් සේවා සඳහාද වන ඉන්දියානු ඩිජිටල්කරණය සම්බන්ධයෙන් ආයෝජකයන් තුළ පවතින උනන්දුව මනාව පෙන්නුම් කරනවා.” මෙම ලිපියේ වැඩිදුරටත් සටහන් කර තිබේ.

මේ අතර විශේෂිත රසායනික ද්‍රව්‍ය නිෂ්පාදන අපනයනකරුවෙකු සිදුකළ මූලික මහජන කොටස් නිකුතුවක් සඳහා 180 වාරයක දායකත්වයක් හිමිව තිබීම සම්බන්ධයෙන්ද අදහස් දක්වා ඇති ඉන්දියාවනු සංචිත බැංකුව, විශේෂයෙන්ම ඉන්දියාව තුළ ඉන්දියානු තාක්ෂණික සමාගම් තුළ පවතින ගැනුම්බරතාවත් සමගින්ම මෙවැනි නව යුගයේ සමාගම් මගින් සිදු කරන මූලික මහජන කොටස් නිකුතූන් ඉදිරියට පැමිණෙනු ඇතැයි සඳහන් කර සිටියි.

“පැහැදිලිවම දැන් නව යුගයක් බිහිව තිබෙනවා. දැනට සිදු කර ඇති ඇස්තමේන්තුව අනුව ඉන්දියාව තුළ යුනිකෝන් සමාගම් 100ක් පමණ තිබෙනවා. (2021 Credit Suisse වාර්තාවකට අනුව) 2019 දී යුනිකෝන් සමාගම් 10 බිහිවුණා. ඒ වගේම 2020 දී සමාගම් 13ක් වගේම වසංගතය මධ්‍යයේ 2021 වසරේදී මේ දක්වා සමාගම් තුනක් බිහිව තිබෙනවා. මෙම සමාගම් දැනට තමන් සතු ප්‍රවේණි වත්කම් මත හෝ බැංකු ණය මත හෝ අමතර ව්‍යාපාරික සබඳතා මත රැඳී සිටින්නේ නැහැ. ඔවුන් දක්ෂතාව සහ නවෝත්පාදන අදහස් මත රඳා පවතිනවා.” ඉන්දියානු සංචිත බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

Visits: 221