හන්ටර්ස් සහ සමාගම කොටසකට රුපියල් 10 බැගින් ලාභාංශ ගෙවීමට යයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත හන්ටර්ස් සහ සමාගම (Hunters & Company PLC- (HUNT.N0000)) සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. ඊයේ පැවැති එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මෙම යෝජනාව ඉදිරිපත් ව තිබේ.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 10.00 ක් බැගින් ලාභාංශ ගෙවන බව සමාගම පවසයි.

මෙය 2020/2021 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන අවසන් ලාභාංශ බව සඳහන් වෙයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ඔක්තෝබර් 14 වැනිදා ප්‍රකාශයට පත් කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස ලබන ඔක්තෝබර් 11 වැනිදා නම් කෙරී තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සමාගමේ කොටස්හිමිකරුවන්ගේ අනුමැතිය අවශ්‍ය බවද හන්ටර්ස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී පවසයි. ඒ අනුව ඊට අදාළව මීළග වාර්ෂික මහා සභාරැස්වීම ලබන සැප්තැම්බර් 30 වැනිදා පැවැත්විමටද සමාගම කටයුතු යොදා ඇත.

හන්ටර්ස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී සමාගම අවසන් වරට ලාභාංශ ගෙවීමක් සිදු කර තිබුණේ 2019 වසරේ ඔක්තෝබර් 09 වැනිදාය. එය 2019 මාර්තු 31 වැනිදායින් අවසන් වූ 2018/2019 මූල්‍ය වර්ෂය සඳහා වූ අවසන් ලාභාංශ ලෙස නම් කෙරී තිබුණි. එහිදී කොටසකට රුපියල් 2.25බැගින් ලාභාංශ ගෙවීමක් සිදු විය.

2019/2020 මූල්‍ය වර්ෂය සඳහා සමාගම ලාභාංශ ගෙවීමක් සිදු නොකළ අතර, පැවැති දේශීය සහ ගෝලීය ආර්ථක තත්ත්වය ඒ සඳහා හේතුව වූ බව සඳහන් කර තිබුණි.

1911 ස්ථාපිත කෙරුණු හන්ටර්ස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී සමාගම ලෝහභාණ්ඩ සහ සැහැල්ලු ඉංජිනේරු නිෂ්පාදන, කෘෂිකාර්මික උපකරණ, ගෘහ සහ අනෙකුත් පාරිභෝගික භාණ්ඩ, පාපැදි, පාපැදි අමතර කොටස් ඇතුළු අනෙකුත් උපාංග මෙරටට ආනයනය, බෙදා හැරීම සහ අලෙවිය සිදු කරයි.

හන්ටර්ස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී සමාගමේ කොටස් හිමිකාරීත්වයෙන් කොටස් 3,671,597ක හිමිකම එල්.ආර්.පී. ඩොසා මහත්මියට හිමිය. එය 71.36%ක ප්‍රතිශතයකි. එසේම අලි නකීබ් මහතා සතුව කොටස් 658,783ක් හිමි අතර එය 12.80% ක ප්‍රතිශතයකි.

Visits: 258