ජූලි මාසයේදී අපනයන ආදායම ඩොලර් බිලියනය ඉක්මවයි

මෙරට අපනයන ආදායම පසුගිය ජූලි මාසයේදී එක්සත් ජනපද ඩොලර් මිලියන 1,099.41ක් ලෙස වාර්තාවූ බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. ඒ අනුව මාර්තු මාසයෙන් පසුව අපනයන ආදායම ඩොලර් බිලියනය ඉක්මවූ පළමු අවස්ථාව බවටද මෙය පත්ව තිබේ.

ශ්‍රී ලංකා රේගුව මගින් දැනට නිකුත් කර තිබෙන දත්ත අනුව අපනයන සංවර්ධන මණ්ඩලය මෙම කරුණු අනාවරණය කර තිබේ. ඒ අනුව මේ වසරේ මෙතෙක් මාසයක් තුළ වාර්තා කළ ඉහළම මාසික අපනයන ආදායම බවටත් මෙය පත්ව තිබේ.

එසේම 2020 වසරේ ජූලි මාසයේදී වාර්තා කළ අපනයන ආදායම වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 1,085 හා සැසඳීමේදී මෙය 1.33%ක වර්ධනයක්වන අතර, 2019 ජූලි මාසයේදී වාර්තා කළ ඩොලර් මිලියන 978.2ක අපනයන ආදායම හා සැසඳීමේදී 12.39%ක වර්ධනයකි.

මෙම අවස්ථාව සම්බන්ධයෙන් අදහස් දක්වන අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සුරේෂ් ඩි මෙල් මහතා, “ලොව පුරාම ව්‍යාප්තව පවතින මෙම වසංගත කාලසීමාවේදීත් පවා ශ්‍රී ලංකාවේ අපනයනයන් ඉතාමත් හොඳ වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. එහිදී අපේ රටේ අපනයනයකරුවන් මෙම වසංගත කාලයේදී පවා සිය අපනයන ව්‍යාපාර වඩාත් තිරසාරව පවත්වාගෙන යාමට ශක්තිමත්ව, ධෛර්යමත්ව කටයුතු කිරීම ඊට හේතුවයි.” යනුවෙන් පවසා තිබේ.

මෙහිදී ජුලි මාසයේ වාර්තා වී ඇති ප්‍රධානතම අපනයන ආදායම වන්නේ රබර් ආශ්‍රිත නිමි නිෂ්පාදන අපනයනයයි. එය එක්සත් ජනපද ඩොලර් මිලියන 96.65ක් වන අතර පසුගිය වසරේ ජූලි මාසය හා සැසඳීමේදී13.6%ක වර්ධනයකි. එහිදී ටයර් සහ ටියුබ් මෙන්ම ශල්‍ය අත්ආවරණ අපනයනයේ කැපී පෙනෙන කාර්යසාධනයක් සිදුව තිබේ. කෙසේ වෙතත් වොෂර්, සීල් ඇතු ඝන රබර් නිෂ්පාදන අපනයනය ඩොලර්ම මිලියන 6.26ක් ලෙස සටහන්ව ඇති අතර එය පසුගියවසරේ ජූලි මාසය හා සැසඳීමේදී 42.78%ක පසු බැසීමකි.

2021 ජූලි මාසයේදී වැඩිම අපනයන ප්‍රමාණයක් සිදු කර ඇති රට වන්නේ එක්සත් ජනපදයයි. එහි වටිනාකම ඩොලර් මිලියන 276.22කි. එසේම අපනයන සිදු කළ මුල් රටවල් 10 අතර එක්සත් රාජධානිය, ඉන්දියාව, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, බෙල්ජියම, කැනඩාව, චීනය සහ එක්සත් අරාබි එමීරය යන රටවල් පවතී.

Visits: 287