කොටස් අතුරු බෙදීමේ නිවේදනයත් සමග AMF කොටසක් 13.68%කින් ඉහළට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී සමාගම (AMF.N0000) මගින් ඊයේ සිය කොටස් අතුරු බෙදිමක් නිවේදනය කෙරිණි.

එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ගත් තීරණයකට අනුව මෙම අතුරු බෙදීම සිදුවන බව පැවසෙයි. මෙහිදී 1:12 අනුපාතය යටතේ මෙම කොටස් අතුරු බෙදීම සිදු කිරිමට යෝජනා වී තිබේ.

ඒ අනුව මෙහිදී දැනට නිකුත් කර ඇති සාමන්‍ය ඡන්ද හිමි කොටසක් සඳහාම අලුතින් ඡන්ද හිමි කොටස් 12ක් හිමිවන ආකාරයට මෙම කොටස් අතුරු බෙදීම සිදුවන බව ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී සමාගම පවසයි.

සමාගම සඳහන් කරන ආකාරයට මෙම කොටස් අතුරු බෙදීම සිදු කිරිමට පෙරාතුව ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී මගින් නිකුත් කර ඇති සාමාන්‍ය ඡන්ද හිමි කොටස් සංඛ්‍යාව 9,443,939කි. ඒ අනුව මෙම කොටස් අතුරු බෙදිමත් සමගින්ම එය කොටස් 113,327,268ක් දක්වා ඉහළ යාමට නියමිතව තිබේ.

මෙහිදී සමාගමේ දැනට ප්‍රකාශිත ප්‍රාග්ධනය වන රුපියල් මිලියන 611.2ක (611,273,941ක්) වටිනාකමක් ගන්නා බවත්, එම වටිනාකම ඉහළ නොයන ආකාරයට මෙම කොටස් අතුරු බෙදීම සිදු කරන බවත් සමාගම අවධාරණය කර සිටියි.

එසේම මෙම කොටස් අතුරුබෙදීම සඳහා ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී සමාගම සිය කොටස් හිමිකරුවන්ගේ අනුමැතියද මීළගට පැවැත්වෙන සමාගමේ මහා සභා රැස්වීමකදී විශේෂිත යෝජනාවක් හරහා ලබා ගැනීමට අදහස් කරගෙන සිටින බවත් වැඩිදුරටත් පවසයි.

මෙම කොටස් අතුරු බෙදීම නිවේදනය කිරීමෙන් අනතුරුව ඊයේ දිනයේ කොළඹකොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී සමාගමේ කොටසක වටිනාකම පෙර දිනයේදී පැවැති රුපියල් 177.25 සිට 201.00 ක් දක්වා රුපියල් 24.25කින් එනම් 13.68%කින් ඉහළ යාම සිදුව තිබේ.

Visits: 401