ලංකා මිල්ක් ෆුඩ්ස් වෙතින් කොටසකට රුපියල් 5 බැගින් ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ලංකාමිල්ක් ෆුඩ්ස් (CWE) පීඑල්සී සමාගම (LMF.N0000) සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. ඊයේ පැවැති එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳව යෝජනා වී තිබේ.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම සාමාන්‍ය ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 5ක් බැගින් මෙම ලාභාංශ ගෙවන බව සමාගම පවසයි.

මෙය 2020/21 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු සහ අවසන් ලාභාංශ ගෙවීම ලෙසද සඳහන්ව තිබේ.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ලබන ඔක්තෝබර් 14 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස ඔක්තෝබර් 1 වැනිදා නම් කර තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් හිමිවිය යුතුව ඇති බවත් ලංකා මිල්ක් ෆුඩ්ස් (CWE) පවසයි.

ඒ අනුව ඊට අදාළව පැවැත්වෙන සමාගමේ මීළග වාර්ෂික මහාසභා රැස්වීම ලබන සැප්තැම්බර් 30 වැනිදා පැවැත්වීමටද කටයුතු යොදා තිබේ.

ලංකා මිල්ක් ෆුඩ්ස් (CWE) පීඑල්සී සමාගම පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදීද සිය කොටස්හිමිකරුවන් සඳහා ලාභාංශ ලබාදීමක් සිදු කළ අතර එහිදී කොටසකට රුපියල් 2.50ක් බැගින් හිමි විය. එයද 2019/20 මූල්‍ය වර්ෂය සඳහා ලබා දුන් පළමු සහ අවසන් ලාභාංශ ගෙවිම විය.

ඊයේ දිනයේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අතරදී ලංකා මිල්ක් ෆුඩ්ස් (CWE) පීඑල්සී සමාගමේ කොටසක අගය රුපියල් 176.25ක් ලෙස සටහන්ව තිබූ අතර එය ඊට පෙර දිනයේ කොටසක අගය වූ රුපියල් 177.50ට සාපේක්ෂව රුපියල් 1.25ක එනම් 0.70%ක අඩුවීමකි.

2020 මාර්තු 31 වැනිදා වනවිට ලංකා මිල්ක් ෆුඩ්ස් (CWE) පීඑල්සී සමාගමේ කොටස් හිමිකාරීත්වයෙන් කොටස් 13,426,540ක් මිල්ෆොර්ඩ් එක්ස්පෝර්ට්ස් (සිලෝන්) පෞද්ගලික සමාගමවෙත හිමිව තිබේ. එසේම කොටස් 6,715,784ක් මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී සමාගමට හිමි අතර තවත් කොටස් 6,120,290ක් මිල්ස් එන්ටර්ප්‍රයිසස් ලිමිටඩ් සමාගමට හිමිව තිබේ.

Visits: 298