පුද්ගලික – සමුපකාර හවුල්කාරිත්වය යටතේ නව වී මෝල් ස්ථාපිත කිරීමට යයි

පුද්ගලික – සමුපකාර හවුල්කාරිත්වය යටතේ කුරුණෑගල, අනුරාධපුරය, මඩකලපුව, හම්බන්තොට සහ අම්පාර යන දිස්ත්‍රික්කවල නවීන තාක්ෂණය සහිත සහල් මෝල් 05ක් ස්ථාපිත කිරීම සඳහා රජය අනුමැතිය ලබා දී ඇතැයි පවසයි.

ඊයේ (18දා) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ හමුවේදී මේ පිළීබඳව කරුණු අනාවරණය කෙරිණි. ඒ අනුව මීළඟ මහ කන්නයේ සිට වී මිල දී ගෙන සහල් නිෂ්පාදනය කර, ලංකා සතොස සහ සමුපකාර සමිති මඟින් බෙදා හැරීම සඳහා වෙළෙඳ අමාත්‍යවරයා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

මෙරට වාර්ෂික සහල් පරිභෝජන අවශ්‍යතාව දළ වශයෙන් මෙට්‍රික්ටොන් මිලියන 2.2ක් පමණ වේ. 2020/2021 මහ කන්නයේ සහ 2021 යල කන්නයේ අස්වැන්න දළ වශයෙන් වී මෙට්‍රික්ටොන් මිලියන 4.8ක් පමණ වන අතර එම ප්‍රමාණයෙන් සහල් මෙට්‍රික්ටොන් මිලියන 3.2ක් පමණ නිෂ්පාදනය කළ හැකි වේ.

එසේ වුවද, වෙළෙඳපොළේ සහල් මිල දිගින් දිගටම ඉහළ යමින් පවතින බව රජය පවසයි. මෙම තත්ත්වයට පිළියමක් වශයෙන් වී අස්වැන්නෙන් සැලකිය යුතු ප්‍රමාණයක් සමුපකාර සමිති සමඟ එක්ව මිලදී ගෙන සහල් නිෂ්පාදනය කර, සාධාරණ මිලකට අලෙවි කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

ඒ අනුව එම මිලදී ගන්නා වී සහල් බවට පත් කිරීම අලුතින් පිහිටුවෙන මෙම වී මෝල් මගින් සිදු කිරීම රජයේ අදහස වී තිබේ.

Visits: 80