EXPO සහ LOLC සමූහය දිනයේ පිරිවැටුමෙන් 51%ක් සඳහා දායක වෙයි

අද (අගෝස්තු 18) දිනයේදීද පිට පිට දෙවැනි දිනටත් කොළඹ කොටස් හුවමාරුවෙහි ඉහළ ගැනුම්බරතාවක් පැවැති බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහිදී විශේෂයෙන්ම ඊයේ දිනයේදී ඉහළ ගිය EXPO සහ LOLC සමූහයේ සමාගම් 4ක් ඒ සඳහා දායක වී ඇත.

ඒ අනුව මෙම සමාගම් පහ පමණක් සියලු කොටස් මිල දර්ශකයෙහි ඉහළ ගිය ඒකක 208.33න් ඒකක 168 ක් සඳහා දායක වී ඇති අතර, සමස්ත පිරිවැටුමෙන් 51%ක් සඳහා දායක වී තිබේ. එසේම රට තුළ කොවිඩ්-19 ව්‍යාප්තිය පිළිබඳ සැකසංකා පැවතුණත් අද දිනයේදීද වටිනා සමාගම්හි කොටස් මිලදී ගැනීමට ආයෝජකයන් වැඩි කැමැත්තක් පෙන්නුම් කළ බවද තැරැව්කාර සමාගම් සඳහන් කරයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 8,134.39ත් ඒකක 8,366.81ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 8,342.85ක් බවට පත්විය. එය ඊයේ (අගෝස්තු 17) දිනයට සාපේක්ෂව ඒකක 208.33ක් එනම් +2.56%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 92ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 71ක මිල ගණන් පහළ ගොස් ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+61.52), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (+41.58), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (+24.57), එල්ඕඑල්සී ෆිනෑන්ස් පීඑල්සී LOFC (+23.6), එල්ඕඑල්සී ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී NIFL (+16.58), ආසිරි හොස්පිටල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී ASIR (-1.53), මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී MELS (-1.31), කාර්ගිල්ස් සිලෝන් පීඑල්සී CARG (-1.3), හේමාස් හොස්පිටල්ස් පීඑල්සී HHL (-1.21), සම්පත් බැංකුව පීඑල්සී SAMP (-1.03යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,073.42ක අගයක් ගත් අතර, එය ඊයේ (අගෝස්තු 17දා) ‍ට සාපේක්ෂව ඒකක 44.86 ක එනම් 1.48%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 6.38ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (අගෝස්තු 17දා) වාර්තා කළ රුපියල් බිලියන 2.91ට සාපේක්ෂව 119% ක ඉහළ යාමකි. එහිදී විදෙස් ආයෝජකයන් දිනයේ වැඩිම මිලදී ගන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.71ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 25.36%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 86.44ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 59.85ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලා ඒම්හි වටිනාකම රුපියල් මිලියන 26.59කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 36.88ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 26.57 කි. එසේම ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 14.64ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 2,716ක් සඳහා ප්‍රවාහන අංශය දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 43%කි. එසේම ප්‍රාග්ධන භාණ්ඩ සහ විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 802 ක සහ රුපියල් මිලියන 799ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 208