කෝපරේටිව් ඉන්ෂුවරන්ස් වෙතින් ළගදීම මූලික කොටස් නිකුතුවක් (IPO)

නගරයට සිමාවූ රක්ෂණ සංකල්පය ගම් දනව් වෙත රැගෙන යාමේ අරමුණින් යුතුව 1999 වර්ෂයේ දී ආරම්භ කළ කෝපරේටිව් ඉන්ෂුවරන්ස් සමාගම (සමූපාකාර රක්ෂණ සමාගම) මෙරට වඩාත් ඵලදායී රක්ෂණ සමාගම බවට පත් වීමේ අරමුණ ඇති ව නුදුරේදීම මූලික කොටස් නිකුතුවක් දියත් කිරීමට සියලු කටයුතු සම්පාදනය කර ඇතැයි පවසයි. මෙම මූලික මහජන කොටස් නිකුතුවේ කළමනාකරු ලෙස ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුව කටයුතු කිරීමට නියමිතව ඇත.

Covid 19 වසංගතය හරහා මෙරට රක්ෂණ කර්මාන්තය යම් අඩපණ වීමකට ලක් වී තිබුණද  2020 වර්ෂයට සාපේක්ෂව 10%  ක ව්‍යාපාර වර්ධනයකට යන්නට කෝපරේටිව් ඉන්ෂුවරන්ස් සමාගමට හැකි වූ බව පවසයි. එමෙන්ම, Covid 19  නිසා ආර්ථික පසුබෑමකට ලක්වූ 2020 වර්ෂයේ දී මිලියන 700 ක ලාභයක් ඉපයීමට සමත්වීම රක්ෂණ කර්මාන්තය තුළ ඔවුන් සතු උපායශීලීත්වය කදිමට පිළිබිඹු කරන්නක් ලෙස සැලකිය හැකිය.

එහිදී විශේෂයෙන් 2016 වර්ෂයට සාපේක්ෂව සමාගමේ පිරිවැටුප 300% න් සහ සමාගමේ ලාභය 430% න් වර්ධනය වී තිබේ. මේ සියලු නිර්ණායකයන්ගේ ප්‍රතිඵලයක් ලෙස මෙරට ප්‍රමුඛතම රක්ෂණ සමාගම් 10 තුළ ප්‍රබල සලකුණක් තැබීමට කෝපරේටිව් ඉන්ෂුවරන්ස් සන්නාමය ට පසුගිය වසර 5ක කාලය තුළ හැකි විය. කෝපරේටිව් ඉන්ෂුවරන්ස් සමාගම 2020 වසර අවසන් වන විට බිලියන 5 ක වාර්ෂික පිරිවැටුපක් සහිතව සීග්‍රයෙන් වර්ධනය වී තිබීම එහි ඇති තවත් සුවිශේෂී කාරණාවකි.

සමාගමේ මූල්‍ය ස්ථාවරත්වය වඩාත් තහවුරු කරමින් ඇමරිකාවේ ප්‍රකට Fitch Rating ආයතනය විසින් BBB+ තත්ව සහතිකය පසුගිය වසර කිහිපය තුළ කෝපරේටිව් ඉන්ෂුවරන්ස් වෙත ලබා දෙන ලදී . එම මූල්‍ය ස්ථාවරත්වය සහ සමාගමේ පරිපාලන ක්‍රමවේදයන්හි තිබෙන සූක්ෂම ක්‍රම නිසා සිය කොටස් හිමියන්ට ගෙවුණු වසර 21 පුරාවටම බර තැබූ සාමාන්‍ය බිල්පත් අනුපාතය (Weighed Average Treasure build rate) එකට වඩා වැඩි වූ වටිනාකමක් ලාභාංශ ලෙස ගෙවීමට හැකි වී තිබේ.

2017 වර්ෂයේ දී ලොව ප්‍රකට බහුජාතික සමාගම් හා කරට කර තරඟ කරමින් 44% ක වර්ධනයකට ළඟාවූ කෝපරේටිව් ඉන්ෂුවරන්ස් සමාගම, එම වර්ෂයේ මෙරට රක්ෂණ කර්මාන්තයේ වැඩිම වර්ධන වේගයක් සනිටුහන් කළ රක්ෂණ සමාගම බවට පත්වීම ඔවුන් තුළ තිබෙන සුවිශේෂීභාවය පෙන්නුම් කරන්නක් විය.

රක්ෂණ නීතියට අනුව 2015 වර්ෂයේ දී සමාගමේ ප්‍රාග්ධනය බිලියනයක් දක්වා වර්ධනය කිරීමට අවශ්‍ය වූ අතර එයට අනුගත වෙමින් සාමාන්‍ය රක්ෂණ සඳහා කෝපරේටිව් ඉන්ෂුවරන්ස් සමාගමත්, ජීවිත රක්ෂණ සඳහා කෝෆ්ලයිෆ් සමාගමත් පිහිටුවීම සමාගම් ඉතිහාසයෙහි සුවිශේෂී සලකුණක් වේ.

එහිදී, එම බිලියනයක ප්‍රාග්ධනයෙන් 99% ම මෙරට සමුපකාර සමිති විසින් කරන ලද ආයෝජනයන් වේ. 2015 දී බිලියනයක කොටස් ප්‍රාග්ධනයක් තිබූ කෝපරේටිව් ඉන්ෂුවරන්ස් සමාගම එය බිලියන 1.6 ක පමණක් දක්වා සහ වත්කම් ප්‍රමාණය බිලියන 11 ක්  දක්වා වර්ධනය කර ගැනීම එහි තිබෙන කාර්්‍යක්ෂම කළමනාකරණයේ විශිෂ්ඨත්වය පිළිබිඹු කරන්නකි.

වර්තමානය වන විට මෙරට රක්ෂණ සමාගමකට හිමි තෙවැනි විශාලතම ශාඛා ජාලය නිර්මාණය කරමින් සමස්ත රටම ආවරණය වන රක්ෂණ සේවාවක් නිර්මාණය කර තිබෙන අතර එහිදී, විශේෂයෙන්ම බොහෝ රක්ෂණ සමාගම් අලාභ යැයි පවසමින් අත්හැර දමා තිබූ හුදෙක් ග්‍රාමීය ජන කොට්ඨාස සතුව පවතින මෝටර් සයිකල්, ත්‍රිරෝද රථ වෙනුවෙන් ඔවුන්ට රිසි වන ලෙස රක්ෂණ සැලසුම් හඳුන්වාදීමට හැකිවීම මෙම ගමනේ සමාගම ලැබූ විශේෂ ජයග්‍රහණයක් වී තිබේ.

Visits: 268