පෑන් ඒෂියා ප්‍රාථමික ගනුදෙනු තහනම තවත් මාස හයකට දිග් කෙරේ

මෙරට බලපත්‍රලාභී වාණිජ  බැංකුවක් වන පෑන් ඒෂියා බැංකුවේ ප්‍රාථමික ගනුදෙනු බලපත්‍රය සම්බන්ධයෙන් පනවා තිබූ තහනම 2021 අගෝස්තු 15දා සිට තවත් මාස 6ක කාලයකට දිග් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇතැයි එම බැංකුව සඳහන් කරයි.

ඊට අදාළ උපදෙස් මහ බැංකුව හරහා තමන් වෙත ලැබුණු බව පවසමින් පෑන් ඒෂියා බෑන්කිං කෝපරේෂන් පීඑල්සී සමාගම ඊයේ (2021 අගෝස්තු 16දා) දිනයේදී කොළඹ කොටස් වෙළෙඳ පොළ දැනුවත් කරමින් මේ බව සඳහන් කර සිටියි.

2017 වසරේ අගෝස්තු 15 වැනිදා සිට මෙලෙස මාස හය බැගින් බැංකුව මගින් සිදු කරන රජයේ සුරැකුම්පත් මත ප්‍රාථමික අලෙවිකරුවෙකු ලෙස සිදු කරන ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අත්හිටුවීමට මහ බැංකුව පියව ගෙන ඇත.

මහ බැංකුවේ මුදල් මණ්ඩලය මගින් ගන්නා තීරණයකට අනුව මෙය ක්‍රියාත්මක වෙයි. අවසන් වරට මෙම තහනම දිග් කෙරුණේ පසුගිය 2021 පෙබරවාරි 15 වැනිදාය.

කෙසේ වෙතත් මෙම තහනම මගින් පෑන් ඒෂියා බැංකුවේ අනෙකුත් සාමාන්‍ය ක්‍රියාකාරකම් හා ගනුදෙනු සේවාවන් සඳහා සහ ද්විතියික වෙළෙඳ පොල ගනුදෙනු සඳහා කිසිදු බලපෑම් ඇති නොවන බවට මහ බැංකුව අවධාරණය කර ඇතැයිද පෑන් ඒෂියා බෑන්කිං කෝපරේෂන් පීඑල්සී සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

Visits: 398