කේ.ඊ.ඩී. සුමනසිරි මහතා ලංකා බැංකුවෙහි නව සාමාන්‍යාධිකාරීවරයා ලෙස පත්වෙයි

ලංකා බැංකුවෙහි නව සාමාන්‍යාධිකාරීවරයා ලෙස මෙරට ජ්‍යෙෂ්ඨතම බැංකුකරුවෙකු වන කේ.ඊ.ඩී. සුමනසිරි මහතා පත් කෙරී ඇතැයි එම බැංකුව පවසයි. අද දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නව පත් කිරීම සිදුව තිබේ.

මෙතෙක් බැංකුවෙහි සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කළ ඩී.පී.කේ. ගුණසේකර මහතා වසර 41ක සේවා කාලයකින් පසුව විශ්‍රාමයාමත් සමගින්ම හිස් වූ ධුරය සඳහා සුමනසිරි මහතා පත් කෙරී ඇත.

1990 දශකයේදී ලංකා බැංකුව සමගින් එක්ව ඇති සුමනසිරි මහතා විවිධ ශ්‍රේණි දක්වා උසස්වීම් ලබමින් 2013 වසරේදී බැංකුවෙහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා මෙන්ම බැංකුවෙහි සාංගමික කළමනාකරණ කණෟඩායමේ සාමාජිකයෙකු බවටද පත්වීමට සමත් විය. බැංකු ක්ෂේත්‍රයේ අංශ ගණනාවක් සම්බන්ධයෙන්ද ඒ මහතා සතුව අත්දැකීම් සම්බාරයක් පවතින බව ලංකා බැංකුව පවසයි.

එහිදී විශේෂයෙන්ම සිල්ලර බැංකුකරණය, ක්ෂුද්‍ර සහ සාංගමික මූල්‍ය මෙන්ම මානව සම්පත් සංවර්ධන යන අංශ හරහා ඒ මහතා බැංකුවෙහි සංවර්ධනය වෙනුවෙන් අපිරිමිත දායකත්වයක් ලබා දී ඇතැයි සඳහන් වෙයි. ගෙවුණූ කාලසීමාවේදී ඒ මහතා බැංකුවෙහි විවිධ තනතුරු දරා ඇති අතර, ක්ෂේත්‍ර කළමනාකාර, මෙහෙයුම් කළමනාකාර සහ සහකාර සාමාන්‍යාධිකාරී ඇතුළු ධුර ඊට ඇතුළත් වෙයි.

ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ BSc. (ගෞරව) උපාධිය හිමි කරගැනීමෙන් අනතුරුව ඒ මහතා වෘත්තිමය බැංකුකරුවෙකු ලෙස සම්බන්ධවී තිබේ. එහිදී ඒ මහතා ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ මෙන්ම ශ්‍රී ලංකා වෘත්තීමය කළමනාකරුවන්ගේ වරලත් ආයතනයේද සාමාජිකයෙකු  වෙයි.

Visits: 88