ඇල්පිටිය ප්ලාන්ටේෂන්ස් පීඑල්සී නිපදවූ පළමු ස්ට්‍රෝබෙරි තොගය වෙළෙඳ පොළට?

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත වැවිලි සමාගමක් වන ඇල්පිටිය ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගම (ELPL.N0000) මගින් නිපදවූ පළමු ස්ට්‍රෝබෙරි නිෂ්පාදන තොගය මේ වනවිට වෙළෙඳ පොළට නිකුත් කර ඇතැයි සමාජ මාධ්‍ය හරහා සටහනක් ප්‍රසිද්ධියට පත් වී තිබේ.

Berry Much යන සන්නාමයෙන් මෙම නිෂ්පාදන අලෙවි කිරීම සිදු වන බව සඳහන් වෙයි. ඊයේ දිනයේදී මෙම නිෂ්පාදන අතරින් පැකට්ටු 16ක් කීල්ස් අලෙවි සැල් වෙත ප්‍රදර්ශනයට තබා තිබෙන බව මෙම සටහනේ සඳහන්ව ඇත. එසේම ඉදිරි සතියේදී SPAR සහ Glowmark අලෙවිසැල් වෙත තවත් පැකට්ටු 40ක් ලැබීමට නියමිතව ඇති බවත් එහි සඳහන් වෙයි. ග්‍රෑම් 250ක් බැගින් වන ලෙස මෙම නිෂ්පාදන ඇසුරුම් කර තිබේ.

එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී සමාගමෙහි ප්ලාන්ටේෂන්ස් (Aitken Spence Plantations) යටතේ ක්‍රියාත්මක ඇල්පිටිය ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගම 2019 වසරේදී පමණ මෙම ස්ට්‍රෝබෙරි වගා කිරීම ආරම්භ කර ඇත. මේ දක්වා තේ, රබර්, පාම් තෙල්, පොල් සහ කුරුඳු යන බෝග ඇල්පිටිය ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගමට අයත් වතුයායන්හි වගා කරමින් සිටියි. එසේම කුඩා ජලවිදුලිබලාගාරද මෙම වතුයායන් ආශ්‍රිතව ක්‍රියාත්මක වෙයි.

2018-19 මූල්‍ය වර්ෂය සඳහා ඇල්පිටිය ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගම මගින් නිකුත් කළ වාර්ෂික වාර්තාව තුළ මෙම ස්ට්‍රෝබෙරි වගාව පිළිබඳව පළමුවරට සඳහන් කර තිබුණි. එහිදී වගාබිම් දෙකක නියමු ව්‍යාපෘති ලෙස 2019 අගෝස්තු මාසයේදී මෙම කටයුතු ආරම්භ වී තිබේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේද සහාය ඇතිව මෙම කටයුතු සිදුව ඇතැයි පැවසෙයි.

එසේම එම වාර්තාවේ සටහන්ව තිබූ ආකාරයට ඉදිරි කාලයේදී සිය වතුයාය මගින් වාණිජමය අරමුණු වෙනුවෙන් මහා පරිමාණව ස්ට්‍රෝබෙරි වගා කිරීම පිළිබඳව සඳහන් කර ඇත.

“ශ්‍රී ලංකාව තුළ වාණිජමය අරමුණු වෙනුවෙන් ස්ට්‍රෝබෙරි (Fragaria ananassa) වගාව ආරම්භ කෙරුණේ 2000 දශකට ආරම්භයේදී පමණය. එහිදී උඩරට පළාතේ වගාබිම් කිහිපයකදීම මෙම පළතුර වසර පුරාම ඉතා හොඳින් වගා කිරීම සිදු විය. මෙලෙස උඩරට පළාතේ නියමු ව්‍යාපෘතියක් ලෙස සිදු කළ ස්ට්‍රෝබෙරි වගා කිරීමෙන් අනතුරුව ඇල්පිටිය ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගම ඉදිරියේදී වාණිජමය අරමුණු වෙනුවෙන් මහා පරිමාණව මෙම ස්ට්‍රෝබෙරි වගා කිරීමට සැලසුම් කර සිටියි.” එහි සඳහන් වෙයි.

සමාගමේ නිෂ්පාදන විවිධාංගීකරණය යටතේ මෙම කටයුතු සිදුව තිබේ. එහිදී ස්ට්‍රෝබෙරි වගාවට අමතරව මෙරටට ආනයනය කෙරෙන අනෙකුත් බෙරි වර්ග වන බ්ලැක්බෙරි, රාස්ප්බෙරීස් සහ බ්ලූබෙරීස් යන පළතුරු සිය මැද රට සහ උඩරට පිහිටි වතුයායන්හි නියමු ව්‍යාපෘති ලෙස වගා කිරීමට ඇල්පිටිය ප්ලාන්ටේෂන්ස් පීඑල්සී කටයුතු යොදා ඇත.

“මේ අතරින් ස්ට්‍රෝබෙරි වගාවේ වාණිජමය මෙහෙයුම් 2019/20 මූල්‍ය වර්ෂයේ දෙවැනි අර්ධයේදී ආරම්භ කිරීමට සැලසුම් සකස් කර තිබේ.” සමාගම 2018/19 වාර්ෂික වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ඇල්පිටිය ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගම වෙත අද වනවිට උඩරට, මැදි රට සහ පහත රට යන ප්‍රදේශවල පිහිටි වතුයායන් 13ක් හිමිව ඇත. සමාගම වෙත අයත් සමස්ත භූමි ප්‍රමාණය හෙක්ටයාර 8,800කට අධිකය. 1997 වසරේ සිට එම සමාගම සුප්‍රසිද්ධ ව්‍යාපාරික හැරී ජයවර්ධන මහතා සභාපතිධුරය දරන එයිට්කන් ස්පෙන්ස් සමූහය යටතේ කළමනාකරණය කෙරේ.

අද වනවිට මෙම ස්ට්‍රෝබෙරි නිෂ්පාදන එයිට්කන් ස්පෙන්ස් සමූහය යටතේ ක්‍රියාත්මක එයිට්කන් ස්පෙන්ස් හොටෙල්ස්හි මෙරට සහ මාලදිවයිනේ හෝටල් වෙත සැපයීම සිදු කරන බවත් සඳහන් වෙයි.

Visits: 431