“අපි ආනයනය කළ කිරිපිටි ටොන් 625ක් දින 69ක් වරායේ හිරවෙලා” – කිරිපිටි ආනයනකරු ලක්ෂ්මන් වීරසූරිය

අද වනවිට රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය ඉහළ යාම මෙන්ම රටෙහි ඩොලර් හිඟතාව හේතුවෙන් තම සමාගම් දැඩි අපහසුතාවට පත්ව සිටින බව මෙරට කිරිපිටි ආනයනකරුවෙකු වන ලක්ෂ්මන් වීරසූරිය මහතා පවසයි.

ඊයේ පළ කෙරුණු ඉරිදා මව්බිම පුවත්පත වෙත අදහස් දැක්වීමක් සිදු කරමින් ඒ මහතා මේ බව පවසා තිබේ. මෙරටට කිරි පිටි ගෙන්වන ආනයනකරුවන් 7 දෙනාගෙන් අයෙකු වන ලක්ෂ්මන් වීරසූරිය මහතා, තමන් ආනයනය කරන ලද කිරිපිටි මෙට්‍රික් ටොන් 625ක් නිදහස් කරගත නොහැකිව වරායේ සිරවී ඇතැයි මෙහිදී සඳහන් කර තිබේ.

 “මට නම් හිතාගන්න බැහැ මේ ප්‍රශ්නයට අපිට කොහොම පිළිතුරු ලැබේවිද කියලා. දැන් දින 69ක් තිස්සේ මම මෙරටට ආනයනය කළ කන්ටේනර් 25ක, කිරිපිටි ටොන් 625ක් වරායේ හිරවෙලා. ගන්න විදියක් නැහැ. බැංකුවලින් සල්ලි ඉල්ලුවම ලොකු මුදලක් දෙන්න බැහැ කියනවා.‍” ඒ මහතා පවසයි.

සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන ආරියසිරි විතානගේ මහතා සමග එක්වී ‘ආරිය කිරි‘ මෙරටට ආනයනය කර අලෙවි කරන්නේ ලක්ෂ්මන් වීරසූරිය මහතාය. ඒ මහතා කිරි පිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජිකයෙකුද වෙයි.

මැලිබන් බිස්කට් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස වසර ගණනාවක් කටයුතු කළ දේශමාන්‍ය ලක්ෂ්මන් වීරසූරිය මහතා අද දවසේදී ANODS COCOA සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කරයි. Puredale කිරිතේ බෙදාහරින්නේ මෙම සමාගම විසිනි.

පුවත්පත සඳහන් කරන ආකාරයට ලක්ෂ්මන් වීරසුරිය මහතා ප්‍රමුඛ සියලු ආනයනකරුවෝ පසුගිය පෙබරවාරි මාසයේ සිටම රජය සමග සුහද කතාබහක නියැලෙමින් වැඩිවූ ඩොලර් එකටසාපේක්ෂව කිරිපිටි පැකට්ටුවේ මිල රුපියල් 300 කින් වැඩිකර දෙන ලෙස ඉල්ලමින් සිටියි. එහෙත් රජය ඊට එකග නොවී තීරු බදුසහනය පමණක් ලබා දිමට කටයුතු කර තිබේ.

“අපි කිරිපිටි කිලෝ එකක් ආනයනය කරලා වරායෙන් එළියට ගනිද්දී රුපියල් 1049ක් ගෙවනවා. ඊළගට ඇසුරුම්, බෙදාහැරීම්, නියෝජිත මහත්වරුන්ට වගේම කඩ හිමියන්ට ලබා ගෙන ගාස්තුවෙන් සියයට තිහක් විතර වෙනවා. එතකොට කිරිපිටි කිලෝවක් 1300කට අඩුවෙන් විකුණන්න බැහැ. තීරුබදු අඩු කිරීමෙන් රුපියල් 30ක වත් මුදලක් තමයි අපිට සහනයක් හැටියට ලැබුණේ. ඩොලර් එක තිබුණු ගාණට වඩා මිල ඉහළ යෑම තමයි මේ හැම දේකටම හේතු වුණේ.” ඒ මහතා පවසයි.

වැඩිදුරටත් අදහස් දක්වන වීරසූරිය මහතා, “අපි ගනුදෙනු කරන්නේ පිටරට සමාගම් එක්ක. ඩොලර් එක්ක. මාස තුනකට බඩු ගෙන්වූ සු ඒ මුදල් අපි පියවන්න ඕනේ. ඒත් අද ඒ මුදල් පියවන්න බැහැ. අපිට ඒ සමාගම් මහ රෑ පවා කතා කරලා මුදල් ගැන අහනවා. අපිට නින්දක් නැහැ. මොකද අපිට මහ රෑ වුණාට නවසීලන්තයට, ඔස්ට්‍රේලියාවට රෑ නෙමෙයි නේ. කරදරයි කියලා ටෙලිෆෝන් එක ඕෆ් කරන්නද බැහැනේ.” යනුවෙන්ද පුවත්පත සමගින් පවසා ඇත.

මෙහිදී අද වන විට මීට මාස තුනකට කලින් නිකුත් කළ ණයවර ලිපි (LC) වලට පවා මුදල් ගෙවා ගත නොහැකිව තමන් සමගින් ගනුදෙනු කරන බැංකුද අපහසුතාවට පත්ව සිටින බව ඒ මහතා පවසයි. රට පත්ව ඇතිව ඇති දරුණු ඩොලර් හිඟය ඊට හේතු වී තිබේ.

“කිරිපිටි ගෙන් වූ මුදල් ගෙවා ගන්න බැංකුවලින් ඩොලර් ලක්ෂයක් ඉල්ලුවොත් දෙන්නේ අනූදාහයි. ඒකටත් ඉන්වොයිස් 9ක් විතර ඉල්ලනවා. මොකද එකපාරට දෙන්න ඩොලර් නැති නිසා. දැන් මේ වෙද්දී මම විතරක් ඒ විදියේ ඉන්වොයිස් 86ක් බැංකුවලට යවා තිබෙනවා. ඒ මට අවශ්‍ය මුදල ටික ටික ගන්න.

අද වෙද්දී නවසීලන්තයේ, ඔස්ට්‍රේලියාවේ කිරිපිටි සමාගම්වලට පවා අපි විහිළුවක් වෙලා. ඒ අය මුදල් ලබා දෙන විදිහ ගැන බලන්නේ සැකෙන්. ජාත්‍යන්තර එක්ක මේ විදියට ව්‍යාපාර කටයුතු කරන්න බැහැ.” ඒ මහතා පුවත්පත සමගින් පවසා තිබේ.

වීරසූරය මහතාගේ පමණක් නොව අද බොහෝ කිරිපිටි ආනයනකරුවන්ගේ කන්ටේනර් නැව් ගාස්තු ඉහළ නංවමින් වරායේ සිර වී ඇත. එමෙන්ම පැමිණීමට නියමිත කිරිපිටි කන්ටේනර් සිංගප්පූරු වරායේ ගොඩබස්වා ගොස් ඇතැයිද අනාවරණය වී තිබේ.

“දැන් අපිට සිද්ධ වෙලා තියෙන්නේ නැව් ගාස්තු ගෙවන ගමන්ම සිංගප්පූරුවේ ගොඩබාපු කන්ටේනර් පවා වැඩි වියදමක් දරලා මෙහෙට ගෙන්වන්නයි. අපේ රටේ ඩොලර් ප්‍රශ්නයක් තිබෙන බව ඇත්ත. දේශීය නිෂ්පාදකයන් දිරි ගවන්වන එකත් ඇත්ත. හැබැයි අපි ආනයන තීන්දු තීරණ ගන්න ඕන මෙහෙ ස්වයංපෝෂිත කරලා.” යනුවෙන්ද වීරසූරිය මහතා අවසන් වශයෙන් සඳහන් කර තිබේ.

Visits: 458