LCB Finance ළගදීම සිය මූලික කොටස් නිකුතුව සිදු කරනවාලු

මෙරට ක්‍රියාත්මක බලපත්‍රලාභී මූල්‍ය සමාගමක් වන ලංකා ක්‍රෙඩිට් ඇන්ඩ් බිස්නස් ෆිනෑන්ස් ලිමිටඩ් (LCB Finance) සමාගම නුදුරේදීම සිය මූලික මහජන කොටස් නිකුතුවක් (IPO) හරහා කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත වීමට සූදානමින් සිටින බව පවසයි.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර සිටින LCB Finance සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කේ.ජී. ලීලානන්ද මහතා, “අද වනවිට අපි මෙම ලැයිස්ගුතවීමේ ක්‍රියාවලිය මුල පිරීමක් සිදු කරමින් එහි කොටසක් සම්පූර්ණ කරලයි තියෙන්නේ. අපේ ලැයිස්තුගතවීමේ උපදේශක සමාගම වන්නේ NDB Investment බැංකුවයි. එහි නීති උපදේශක ලෙස FJ & G de Seram සමාගම කටයුතු කරනවා. මෙම නිකුතුවේ බැංකුකරුවා වන්නේ සම්පත් බැංකුවයි.” යනුවෙන් පවසා ඇත.

අදවනවිට LCB Finance සමාගම මගින් අඩු ආදායම් ලාභීන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා වන ක්ෂුද්‍ර මූල්‍ය ණය කළඹ රැසක්ම හඳුන්වාදීමට සමත්ව සිටියි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටින ප්‍රධාන විධායක නිලධාරී ලීලානන්ද මහතා, “අනෙකුත් ගනුදෙනුකරුවන්ද සමගින් ගොවියන්, ධීවරයන්, වෙළෙන්දන් සහ කම්කරුවන් වගේම තවත් කුඩා ව්‍යාපාර හිමිකරුවන් අපගේ ගනුදෙනුකරුවන් වෙනවා. ඔවුන් නිසා අපගේ සමාගම සැබැවින්ම ජනතාවගේ සංවර්ධන මූල්‍ය ආයතනයක් බවට පත්ව තිබෙනවා. ගතවුණු වසර තුනක කාලයේදී අපි ජනතාව වෙත උපරිම ප්‍රතිලාභ ලබාදීමට හැකි උපරිම දේ සිදු කළා.” යනුවෙන් පවසා සිටියි.

2021 මාර්තු 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂයේදී සමාගම සතුව රුපියල් බිලියන 2.16ක මූලික ප්‍රාග්ධනයක් සහ රුපියල් මිලියන 100ක බදු පසු ලාභයක් සටහන් කිරීමට සමත්ව ඇත. එසේම සමාගමේ මෙහෙයුම් ලාභය රුපියල් මිලියන 122ක් වන අතර, අද වනවිට සමාගම සතු සමස්ත වත්කම් ප්‍රමාණය රුපියල් මිලියන 3,672 ක් බවත් පැවසෙයි.

2016 වසරේ මැයි 16 වැනිදා ගාල්ලේදී පිහිටවුණු LCB ෆිනෑන්ස් සමාගම 2007සමාගම් පනත යටතේ ලියාපදිංචි සමාගමක් බවද කියයි. එසේම එය ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අංශයෙහි අනුමැතියද හිමි සමාගමකි. 2018 වසරේදී එම සමාගම මගින් City Finance සමාගම අත්පත් කරගැනීමත් සමගින්ම තවදුරටත් පුළුල් විය. අද වනවිට ශාඛා 6ක් හිමි LCB ෆිනෑන්ස් සමාගම සතු පාරිභෝගිකයන් සංඛ්‍යාව 30,000ක් පමණ වන බවත් සඳහන් වෙයි.

සමාගමේ ප්‍රධාන කොටස් හිමිකාරීත්වය ලංකා ක්‍රෙඩිට් ඇන්ඩ් බිස්නස් ලිමිටඩ් සමාගම වෙත හිමිව ඇත. එය 87%ක ප්‍රතිශතයකි.

Visits: 354