සුප්‍රීම් ටීවී දීපව්‍යාප්ත ලෙස සිය විකාශන ආවරණය පුළුල් කරයි

ශ්‍රී ලංකාවේ නවතම සිංහල රූපවාහිනි නාලිකාව සුප්‍රීම් ටීවි (Supreme TV) සිය දීපව්‍යාප්ත විකාශන ආවරණය පුළුල් කළ බව පවසයි. මූලිකවම කොවිඩ්-19 වසංගතයේ බලපෑමෙන් හානියට පත්ව ඇති රටෙහි අධ්‍යාපන ක්ෂේත්‍රය වෙත සහාය දීමක් ලෙස මෙම කටයුතු සිදුව තිබේ.

“දැනටමත් රට තුළ පවතින රූපවාහිනි යටිතලපහසුකමක් හා සම්බන්ධ වෙමින් සුප්‍රීම් නාලිකාව සිය විකාශනය දීපව්‍යාප්ත ලෙස පුළුල් කර තිබෙනවා. විශේෂයෙන්ම 660,000ක් පමණ වන සාමාන්‍ය පෙළ සිසුන් ඉලක්ක කරගනිමින් මෙම විකාශනය පුළුල් කර තිබෙනවා. නාලිකාව හරහා විකාශය කෙරෙන අධ්‍යාපනික වැඩසටහන් නැරඹීමෙන් එම සිසුන්ට කිසිදු බාධාවකින් තොරව සිය අධ්‍යාපන කටයුතු දැන් සිදු කර ගැනීමට හැකියි.” සුප්‍රීම් ටීවි නාලිකාව පවසයි.

අද වනවිට සිය විකාශන කාලයෙන් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් අධ්‍යාපනය සඳහා වෙන්කර තිබෙන පළමු සහ එකම නාලිකාව බවටත් සුප්‍රීම් ටීවි පත්ව තිබේ. ඒ සඳහා නාලිකාව ‘Supreme Educare’ ලෙස දැනට මාස තුනකට පෙරාතුව අපොස සාමාන්‍ය පෙළ දරුවන් සඳහා ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. කෙසේ වෙතත් නාලිකාවේ විකාශනය බස්නාහිර පළාත වෙත පමණක් සීමා වී තිබීම නිසා, නාලිකාව මගින් ලබා දෙන මෙම පහසුකම් අත්විදීමට රටෙහි අනෙකුත් ප්‍රදේශවල දරුවන්ට අවස්ථාව හිමි නොවීය.

“බස්නාහිර පළාතෙන් පිටත සිටින දරුවන්, විශේෂයෙන්ම අන්තර්ජාල පහසුකම් හරහා හෝ මුදල් ගෙවා නැරඹිය හැකි රූපවාහිනි නාලිකා හරහා සිදුකරන අධ්‍යාපනික වැඩිසටහන් නැරඹිය නොහැකි දුප්පත් සහ ග්‍රාමීය දරුවන් වෙත අවධානය යොමු කරමින් සුප්‍රීම් නාලිකාව සිය විකාශනය මේ ආකාරයට දැවැන්ත ලෙස දීපව්‍යාප්තව පුළුල් කිරීමට කටයුතු කළා” සුප්‍රීම් ටීවී නාලිකාව පවසයි.

සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් මව් සමාගම යටතේ දියත් කළ සුප්‍රීම් ටීවි නාලිකාව අද වනවිට රට තුළ UHF සංඛ්‍යාත හරහා මෙන්ම අන්තර්ජා/සමාජ මාධ්‍ය සහ චන්ද්‍රිකා තාක්ෂණය හරහාද සිය විකාශන කටයුතු සිදු කරයි.

ඒ අනුව බස්නාහිර – UHF 49/47, දකුණ – UHF 28/51/47, මධ්‍යම – UHF 41/47, මහනුවර UHF 41, රත්නපුර – UHF 56, ඌව – UHF 30/47/51, නැගෙනහිර – UHF 47/51, වයඹ – UHF 32/47, උතුරු මැද – UHF 32/47 සහ ඩයලොග් ටීවි නාලිකා අංක 118 සහ පියෝටීවී නාලිකා අංක 140 මෙන්ම තවත් මුල් පෙළේ කේබල් රූපවාහිනි සේවා හරහා ද නාලිකාව විකාශය කෙරෙන බව පවසයි.

Visits: 202