සන්ෂයින් හෝල්ඩින්ග්ස් පළමු කාර්තුව සඳහා 54%ක ඉහළ වර්ධනයක් වාර්තා කරයි

විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් පවතින සාර්ව ආර්ථික පරිසරයක් මධ්‍යයේ සිය ඔරෝත්තු දීමේ හැකියාව මැනවින් විදහා දක්වමින් පසුගිය වසරේ පළමු කාර්තුව හා සැසඳීමේදී 2021 පළමු කාර්තුව සඳහා 54%ක ඉහළ වර්ධනයක් වාර්තා කිරීමට සමත්ව ඇත.

වත්මන් මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව තුළ රුපියල් බිලියන 7.3 ක ආදායමක් සමූහය වාර්තා කළ අතර බදු පසු ලාභය (PAT) 88% කින් වර්ධනය වී රුපියල් බිලියන 1 ක් වී ඇත. පසුගිය මූල්‍ය වර්ෂය තුළ සමූහයට අයත් හෙල්ත්කෙයාර් හා කන්සියුමර් යන දෙඅංශයන්හි සිදු කළ සාර්ථක අත්පත් කරගැනීම් තුළින් පෙන්නුම් කළ කැපී පෙනෙන කාර්යසාධනය සමූහයේ ආදායම ඉහළ යාමට ප‍්‍රධාන වශයෙන් හේතු විය.

සන්ෂයින් සමූහයේ මෙම ඉහළ මූල්‍ය ප‍්‍රතිඵල සඳහා සමූහයේ හෙල්ත්කෙයාර් අංශයෙන් විශාල දායකත්වයක් ලැබුණු අතර එය සමස්ත ආදායමෙන් 54%ක් නියෝජනය කළේය. මේ අතර කන්සියුමර් හා කෘෂිව්‍යාපාර යන අංශවලින් පිළිවෙලින් 25%ක් හා 19%ක් ලෙස සමූහයේ සමස්ත ආදායමට දායකත්වය ලබා දී ඇත.

මෙම මූල්‍ය ප‍්‍රතිඵල පිළිබඳව අදහස් දක්වන සන්ෂයින් සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ විශ් ගෝවින්දසාමි මහතා ‘‘දැනට පවතින කොවිඞ්-19 වසංගතය තත්වය මෙරට ආර්ථිකයේ සෑම අංශයකටම අඛණ්ඩව බලපෑම් ඇති කරමින් සිටිනවා. කෙසේවෙතත්, එවැනි අසීරුතාවන් මධ්‍යයේ ඉහළම ආරක්ෂිත ප‍්‍රමිතීන් අනුගමනය කරමින්, අපගේ සියළුම පාර්ශවකරුවන්ට බාධාවකින් තොරව සේවාවන් ලබා දීමට අපට හැකි වුනා. ඒවගේම මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමට අපගේ වටිනා දායකත්වය අඛණ්ඩව ලබා දෙමින්, සමූහයක් ලෙස අපගේ ඔරොත්තු දීමේ හැකියාව හා ව්‍යවසායකත්ව ප‍්‍රවේශය පෙන්නුම් කිරීමට හැකි වීම ගැන අප සතුටු වනවා. කෙසේවෙතත්, මෙම වසංගතය හා අවිනිශ්චිත වාතාවරණය විසින් ඇති කරන ලද අයහපත් ආර්ථික බලපෑම හේතුවෙන් කෙටි හා මධ්‍ය කාලීනව අප ඉදිරියටත් අභියෝගවලට මුහුණ දීමට බලාපොරොත්තු වනවා.” යනුවෙන් පැවසුවේය.

හෙල්ත්කෙයාර්

සලකා බලන කාල පරිච්ඡේදය තුළදී, සමූහයේ හෙල්ත්කෙයාර් අංශය පළමු කාර්තුවේදී රුපියල් බිලියන 4 ක ආදායමක් වාර්තා කිරීමට සමත් විය. එය සන්ෂයින් ෆාමසූටිකල්ස්, සන්ෂයින් මෙඩිකල් ඩිවයිසස් හා හෙල්ත්ගාර්ඞ් යන ආයතනවල වර්ධනය වූ කාර්යසාධනයේ දායකත්වයෙන් පසුගිය වසරේ එම කාල පරිච්ෙඡ්දය හා සැසඳීමේදී 54%ක කැපී පෙනෙන වැඩි වීමකි.

මෙම ව්‍යාපාරික අංශ සමඟ අක්බාර් ෆාමසූටිකල්ස් හා සමූහයේ දේශීය ඖෂධ නිෂ්පාදන අංශය වන ලීනා යන සමාගම්වල දායකත්වයෙන් සමූහයේ හෙල්ත්කෙයාර් අංශයේ බදු පසු ලාභය (PAT) පසුගිය වසරේ එම කාල පරිච්ෙඡ්දය හා සැසඳීමේදී 58%කින් වැඩි වීමක් පෙන්නුම් කළේය. Great Place to Work ආයතනය විසින් 2021 සිට 2022 දක්වා කාලය සඳහා ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවා ස්ථාන 40න් එකක් ලෙස සන්ෂයින් හෙල්ත්කෙයාර් ලංකා සමාගම පිළිගැනීමට ලක් කළේය.

කන්සියුමර්

වටවල, ’Zesta’, රන් කහට සහ ඬේන්ටී යන ප‍්‍රධාන වෙළෙඳ නාමවලින් සමන්විත සන්ෂයින් කන්සියුමර් අංශයේ ආදායම පසුගිය වසරේ එම කාල පරිච්ෙඡ්දය හා සැසඳීමේදී 68%ක වැඩි වීමක් වාර්තා කරමින් රුපියල් බිලියන 1.8ක් විය. මෙසේ ආදායම ඉහළ යාමට ප‍්‍රධාන වශයෙන් හේතු වූයේ පසුගිය වසරේදී රසකැවිලි සමාගම අත්පත් කරගැනීමෙන් ලැබුණු දායකත්වයයි. තේ සහ රසකැවිලි යන ප‍්‍රධාන අංශවලට අයත් වෙනත් අංශවල වර්ධනය වූ කාර්යසාධනය ඉහළ මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කිරීමට ද දායක විය.

කෘෂිව්‍යාපාර

සමූහයේ කෘෂිව්‍යාපාර අංශය නියෝජනය කරනු ලබන වටවල වැවිලි සමාගමේ පළමු කාර්තුව තුළ ආදායම පසුගිය වසරේ එම කාල පරිච්ෙඡ්දයට සාපේක්ෂව 44%කින් වැඩිවීමක් පෙන්නුම් කර ඇත. කෘෂි අංශයේ බදු පසු ලාභය (PAT) 21/22 මූල්‍ය වසරේ පළමු කාර්තුව සඳහා රුපියල් මිලියන 724ක් වූ අතර පසුගිය වසරේ එම කාලය හා සැසඳීමේදී එය රුපියල් මිලියන 318කින් ඉහළ ගොස් තිබේ. මේ අතර ඬේරි (කිරි) අංශය පසුගිය වසරේ මෙම කාලය තුළ රුපියල් මිලියන 4ක ශුද්ධ අලාභයක් වාර්තා කර තිබෙන අතර එම අංශය මෙම වසරේ පළමු කාර්තුවේදී බදු පසු ලාභය (PAT) රුපියල් මිලියන 18ක් දක්වා වැඩි වී තිබේ.

Visits: 170