බ්‍රිතාන්‍යයේ CDC සමූහයෙන් කොමර්ෂල් බැංකුවට ඩොලර් මිලියන 50 ක්

ශ‍්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට ණය ලබාදීමට සහ පාරිසරික ව්‍යාපෘති සඳහා සහාය දැක්වීමට කොමර්ෂල් බැංකුව එංගලන්තයේ සංවර්ධන මූල්‍ය ආයතනය සහ බලපෑම් ආයෝජකයා වන CDC සමූහයෙන් ඩොලර් මිලියන 50 ක (වර්තමාන විනිමය අනුපාතය අනුව රුපියල් බිලියන 10 ක) ණය මුදලක් අනුමත කරගෙන ඇතැයි පවසයි.

CDC ආයෝජනය මගින් මූල්‍ය පහසුකම් වඩාත් අවශ්‍ය දේශීය සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට ලබාදෙන මූල්‍ය සහාය තවත් ශක්තිමත් කිරීමට කොමර්ෂල් බැංකුවට අවස්ථාව උදාවන අතර ඔවුන්ගේ සේවක සංඛ්‍යා පවත්වාගනිමින් ව්‍යාපාර වර්ධනය කරගැනීමට අවශ්‍ය කාර්ය ප‍්‍රාග්ධනය මෙමගින් ලබාගැනීමට හැකිවනු ඇත. කොමර්ෂල් බැංකුව සඳහන් කරන්නේ මෙහිදී සුදුසු ව්‍යාපාර සහ ගනුදෙනුකරුවන් සඳහා ණය ලබාදීම මගින් සමස්ත ශ‍්‍රී ලංකාවේම ආර්ථික කටයුතු වර්ධනය කිරීමට හැකිවන ආකාරයෙන් සියළුම ප‍්‍රජාවන් තෝරාගන්නා බවයි.

ශ‍්‍රී ලංකාවේ ව්‍යාපාර වලින් 80% ක්ම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වන අතර මෙරට රැකියා උත්පාදනයෙන් 35% ක් කර තිබෙන්නේ එම ව්‍යාපාර මගිනි. කෙසේවෙතත්, මෙම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර මධ්‍ය හා දිගුකාලීන අරමුදල් ලබාගැනීමේ අභියෝගයකට මුහුණ දී සිටින අතර කොවිඞ්-19 වසංගතයෙන් ආර්ථිකයට ඇතිවූ අහිතකර බලපෑම නිසා එම අභියෝගය තවදුරටත් විශාල වී තිබේ. 

මෙම CDC ආයෝජනය මගින් පුනර්ජනනීය සහ දේශගුණික සහාය ව්‍යාපෘති සඳහා සමානව ප‍්‍රාග්ධනය සම්පාදනය කිරීමේ අවස්ථාව කොමර්ෂල් බැංකුවට මේ වනවිට හිමිවී ඇත. ශ‍්‍රී ලංකාවේ බලශක්ති අවශ්‍යතාවය දිනෙන් දිනම වැඩිවෙමින් තිබෙන අතර 2030 වනවිට බලශක්තිය අතින් ස්වයංපෝෂිත වීමට ශ‍්‍රී ලංකාවේ ජාතික ඉලක්කයක් තිබෙන අතර 100% ක්ම පුනර්ජනනීය බලශක්තිය මගින් බලශක්තිය නිෂ්පාදනය කිරීමට 2050 වනවිට බලාපොරොත්තු වේ.

මෙම සංධිස්ථානාත්මක ආයෝජනය මගින් CDC නැවත වතාවක් මෙරට වෙළෙඳපොළට පැමිණීම සනිටුවහන් වන අතර ශ‍්‍රී ලංකාව වෙනුවෙන් සිදුකළ පළමු දේශගුණික ආයෝජනය මගින් සංවර්ධන මූල්‍ය ආයතනයේ කුළුණු තුනකින් යුතු දේශගුණය වෙනස් වීම සඳහා වන උපාය මාර්ගය විදහා දැක්වේ. මේ ආකාරයෙන්ම මෙම ආයෝජනය මගින් පැරිස් ගිවිසුමට සහයෝගය දැක්වීම සඳහා ශ‍්‍රී ලංකාවේ කැපවීම පෙන්වන කොමර්ෂල් බැංකුවේ හරිත මූල්‍ය උපාය මාර්ගය තවදුරටත් ශක්තිමත් වනු ඇත.  

මේ පිළිබඳව අදහස් දක්වමින් ශ‍්‍රී ලංකාව සඳහා බි‍්‍රතාන්‍යයේ වැඩබලන නියෝජ්‍ය මහ කොමසාරිස් බෲස් බක්නල් මහතා මෙසේ අදහස් දැක්වීය. ‘ශ‍්‍රී ලංකාවේ කුඩා ව්‍යාපාර සහ ප‍්‍රජාවන් සවිබල ගැන්වීම සඳහා සිදුකළ නිවේදනය අපි සාදරයෙන් පිළිගන්නවා. ක්‍ෘක්‍ සහ කොමර්ෂල් බැංකුව විසින් ඇතිකර ගත් මෙම ඒකාබද්ධතාවය ආයෝජනය සඳහා ඓතිහාසික එකක් වන අතර ඒ තුළින් ශ‍්‍රී ලංකාවේ ආර්ථික අනාගතය දියුණු කළ හැකියි. ඒ වගේම, මෙම ආයෝජනය මගින් ශ‍්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් බි‍්‍රතාන්‍යය දක්වන අඛණ්ඩ සහායත් පිරිසිදු බලශක්තිය දිරිගැන්වීම මගින් තිරසාර අනාගතයක් වෙනුවෙන් අපගේ තිබෙන දැක්මත් විදහා දක්වනවා.’ 

CDC සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ආසියානු කළාපයේ ප‍්‍රධානී, ශ‍්‍රීනි නාගරාජන් මහතා මේ පිළිබඳව අදහස් දැක්වූයේ මෙසේයි. ‘සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර මගින් කුටුම්බ සහ දේශීය ප‍්‍රජාවන් ශක්තිමත් කරමින් සමස්ත රටේම ආර්ථිකය වර්ධන මාවතකට රැගෙන එනවා. කෙසේවෙතත්, කොවිඞ්-19 වසංගතය නිසා මෙම අංශයට තිබෙන මූල්‍ය සහාය අඩුවුණා. එය ආර්ථික සංවර්ධනයට බාධාවක් වී තිබෙනවා.’ 

මෙම ආයෝජනය පිළිබඳව කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ, එස්. රෙන්ගනාදන් මහතා ‘1920 වසරේදී ඊස්ටන් බැංකුව කොළඹදී ආරම්භ කර අපගේ අවුරුදු 100 ක ගමනට මග පාදාගත් දා සිට බි‍්‍රතාන්‍යය සමග කොමර්ෂල් බැංකුවට ඓතිහාසික සම්බන්ධතාවයක් තිබෙනවා. ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයේ නාරටිය වන සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායන් සඳහා සහයෝගය දැක්වීමට බි‍්‍රතාන්‍යය රජය විසින් අරමුදල් සපයන CDC සමග සම්බන්ධ වීමට හැකිවීම පිළිබඳව අපි අතිශය සතුටට පත්වෙනවා. වසංගතය නිසා මෙම අංශයට අභියෝග රැසක් ඇතිවූ අතර මේ අසීරු අවස්ථාවේ මෙම අංශයේ ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යාමට සහ වර්ධනය කිරීමට අපි විශාල සහයෝගයක් ලබාදුන්නා. මෙම ණය පහසුකම ලබාගැනීම මගින් සුළු හා මධ්‍යම පරිමාණ අංශයට අපි විසින් ලබාදෙන සහයෝගය තවදුරටත් ශක්තිමත් කිරීමට අවස්ථාව හිමිවන අතර ධනාත්මක වෙනසක් ඇතිකිරීම වෙනුවෙන් සුළු හා මධ්‍යම පරිමාණ සහ හරිත ව්‍යාපෘති වෙනුවෙන් ණය පහසුකම් සපයන ප‍්‍රධාන බැංකුවක් ලෙස කොමර්ෂල් බැංකුවට තිබෙන ස්ථානය මෙමගින් තවදුරටත් තහවුරු වෙනවා.’ යනුවෙන් අදහස් දැක්වීය.    

Visits: 226