ඩෙල්ටා ව්‍යාප්තිය සහ ලාභ ඉපැයීම් අවසානයේ දර්ශක අගයන් ඉහළ නගී

අද (අගෝස්තු 13) දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු තවදුරටත් චංචල ස්වාභාවයක් පෙන්නුම් කළ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහිදී හේලීස් සමූහයේ සමාගම් පෙන්නුම් කළ ඉපැයීම් හරහා ඒ සඳහා වන ආයෝජන ආකර්ෂණය ඉහළ ගියත් කොවිඩ්-19 පිළිබඳ කණස්සල්ල ආයෝජකයන් තුළ ගැටලුකාරී තත්ත්වයක් මතු කර තිබේ.

මේ අතර ඉදිරියේ වටිනාකම් ඉහළ යනු ඇතැයි ආයෝජකයන් බලාපොරොත්තු තබා ඇති සමාගම්වල අගයන් ඉහළ යාමක් සිදු වූ අතර, ඒ හේතුවෙන් දිනයේ අගභාගයේදී දර්ශක අගයන් ඉහළ යාමක් සිදුවිය. එසේම ආයෝජකයන් වටිනා සමාගම් තුළදී ලාභ ඉපැයීම් අද දිනයේදීත් දැකගත හැකි වූ බව තැරැව්කාර සමාගම් පවසයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 7,969.38ත් ඒකක 8,034.73ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 7,996.04ක් බවට පත්විය. එය ඊයේ (අගෝස්තු 12) දිනයට සාපේක්ෂව ඒකක 15.13ක් එනම් +0.19%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 90ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 91ක මිල ගණන් පහළ ගොස් ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ ඇම්බියොන් කැපිටල් පීඑල්සී TAP (+10.59), එල්ඕඑල්සී ෆිනැන්ස් පීඑල්සී LOFC (+3.54), එල්ඕඑල්සී ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී NIFL (+3.08), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (+1.63), හේලීස් පීඑල්සී HAYL (+2.02), මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී MELS (-3.14), ඒෂියන් හොටෙල්ස් ඇන්ඩ් ප්‍රොපර්ටීස් පීඑල්සී AHPL (-3.09), ඇම්බියොන් හෝල්ඩිංග්ස් පීඑල්සී GREG (-2.73), ලාෆ්ස් ගෑස් පීඑල්සී LGL (-1.88), එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (-1.76යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,990.91ක අගයක් ගත් අතර, එය ඊයේ (අගෝස්තු 12දා) ‍ට සාපේක්ෂව ඒකක 1.89 ක එනම් 0.06%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2.32ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (අගෝස්තු 12දා) වාර්තා කළ රුපියල් බිලියන 4.14ට සාපේක්ෂව 44% ක පහළ යාමකි. එහිදී විදෙස් ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.56ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 20.51%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 21.24ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 42.75ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලා යෑම්හි වටිනාකම රුපියල් මිලියන 21.52කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 36.88ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය සිලෝන් කෝල්ඩ් ස්ටොර්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 8.2 කි. එසේම සිලෝන් ටොබැකෝ කම්පැනි විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 29.43ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 657ක් සඳහා විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 28%කි. එසේම ප්‍රාග්ධන භාණ්ඩ සහ නිෂ්පාදන අමුද්‍රව්‍ය අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 409 ක සහ රුපියල් මිලියන 287ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 220