කැලනි ටයර්ස් පීඑල්සී රුපියල් 5.00 බැගින් ලාභාංශ ගෙවීම සැප්. 13 දා

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කැලනි ටයර්ස් පීඑල්සී සමාගම (TYRE.N0000) සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. අද පැවැති එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවකදී මේ පිළිබඳ තීරණය ගෙන තිබේ.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්දහිමි කොටසක් සඳහාම රුපියල් 5.00ක් බැගින් ලාභාංශ ගෙවීම සිදු කරන බව සමාගම පවසයි.

මෙය 2021/22 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු අතරමැදි ලාභාංශ ගෙවීම බවද කැලනි ටයර්ස් පීඑල්සී සමාගම පවසයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස සැප්තැම්බර් 13 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස අගෝස්තු 24 වැනිදා නම් කෙරී තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සිය සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් කැලනි ටයර්ස් පීඑල්සී සමාගම පවසයි.

කැලනි ටයර්ස් පීඑල්සී සමාගම අවසන්වරට ලාභාංශ ගෙවීමක් සිදු කර ඇත්තේ 2020 වසරේ දෙසැම්බර් මාසයේදීය. 2020/21 මූල්‍ය වර්ෂය සඳහා පළමු අතරමැදි ලාභාංශ ගෙවීම වූ එහිදීද ඡන්ද හිමි කොටසක් සඳහා රුපියල් 5.00ක් බැගින් ලාභාංශ ගෙවිම සිදු විය.

අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු නිමාවේදී කැලනි ටයර්ස් පීඑල්සී සමාගමේ කොටසක වටිනාකම රුපියල් 87.10ක් ලෙස සටහන් විය. මෙය ඊයේ දිනයේ සමාගමේ කොටසක අගය වූ රුපියල් 87.80ට සාපේක්ෂව ශත 70ක එනම්  -0.80%ක පහත වැටීමකි.

Visits: 238