JAT Holdings හි බංග්ලාදේශ නිෂ්පාදන මෙහෙයුම් සැලසුමට පෙර අරඹනවාලු

මෙරට තීන්ත සහ ආලේපන නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන JAT Holdings සමාගම බංග්ලාදේශයේ ආරම්භ කිරීමට නියමිත සිය නිෂ්පාදන මෙහෙයුම් සඳහා අවශ්‍ය පරිශ්‍රය අත්පත් කරගැනීම දැනටමත් සිදු කර ඇතැයි පවසයි.

ඒ අනුව එරට ඩකා අගනුවර ආසන්නයේ පිහිටි සවාර් නගරය තුළ මෙම නිෂ්පාදන පරිශ්‍රය පිහිටා තිබෙන බව JAT Holdings සමාගම පවසයි. එසේම බංග්ලාදේශය තුළ සමාගමේ ව්‍යාපාර මෙහෙයුම් පවත්වාගෙන යාමේ කේන්ද්‍රස්ථානය බවටත් මෙය පත්වනු ඇතැයි ඔවුන් සඳහන් කරයි.

මෙම කටයුතු JAT Holdings සමාගම මගින් පසුගියදා සිදු කරන ලද මහජන කොටස් නිකුතුවෙන් අනතුරුව, එම සමාගම මගින් සිදු කිරීමට සැලසුම් කර තිබූ මෑත-කාලීන අරමුණු නියමිත කාලයට පෙරාතුව සම්පූර්ණ කිරීමක් ලෙස හැඳින්විය හැකි බවත් සමාගම පවසයි.  

එසේම දැනටමත් බංග්ලාදේශ වෙළෙඳ පොළ වෙත සිය නිෂ්පාදන යොමු කරමින් සමාගම මගින් එරට තුළ පිහිටුවා ගෙන තිබෙන ස්ථාවරත්වය තවදුරටත් වර්ධනය කරගැනීම මෙම නිෂ්පාදන කර්මාන්තශාලාවේ මෙහෙයුම් ආරම්භ කිරීම හරහා සිදු වෙනු ඇතැයිද JAT Holdings සමාගමේ අදහස වී තිබේ.

ඒ අනුව බංග්ලාදේශය තුළ ඉහළ අලෙවියක් පවතින දැව ආලේපන නිෂ්පාදනය සඳහා අවශ්‍ය මූලික උපාංග එම කර්මාන්තශාලාව වෙත දැනටමත් රැගෙන එමින් පවතින බවත් සමාගම පවසයි. ඒ අනුව මීට පෙර 2022 පළමු කාර්තුවේදී පමණ ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ මෙම කර්මාන්තශාලාව 2021 තෙවැනි කාර්තුව දක්වා ඉදිරියට ගෙන ඒමක් සිදු කර තිබෙන බව සඳහන් වෙයි. එහිදී බංග්ලාදේශ වෙළෙඳ පොළ තුළ ආදායමෙන් 70%ක් සඳහාම දැව ආලේපන අංශය දායකත්වයක් ලබා දීම සහ ඒ හරහා සමාගමේ දළ ලාභයේ වර්ධනයක් පෙන්නුම් කිරීම ඊට හේතුව බවත් සමාගම පවසයි.

මීට අමතරව වසරේ මුල් මාස හතර සඳහා වූ අයවැය ඉලක්කයන් සම්පූර්ණ කරමින් රුපියල් මිලියන 445ක ආදායමක් හිමි කරගැනීමටද සමාගම සමත්ව සිටියි. විශේෂයෙන්ම බංග්ලාදේශය වෙළෙඳ පොළ තුළ සමාගම අත්පත් කරගෙන ඇති ස්ථාවරත්වය සහ ප්‍රත්‍යස්ථතාව ඒ සඳහා හේතුව වී තිබෙන බව සමාගම පවසයි.

එහිදී විශේෂයෙන්ම බංග්ලාදේශයේ පිහිටි ගෘහභාණ්ඩ නිෂ්පාදන සමාගම් වන Partex Furniture, Hatil Complex Ltd, Nadia Furniture Ltd, Brothers Furniture Ltd සහ Akthar Furniture Ltd යන සමාගම් මගින් ගෙවුණු වසර 10ක පමණ කාලයක් පුරා JAT Holdings සන්නාමය වෙත දක්වන විශ්වාසනීයත්වය මූලික වී තිබේ.

එසේම JAT Holdings සමාගම අද වනවිට බංග්ලාදේශයේ දැව ආලේපන වෙළෙඳ පොළ ප්‍රමුඛයා ලෙස හඳුන්වාදිය හැකි බවත්, තවත් වසර ගණනාවක් යනතුරුම මෙම කර්මාන්තය තුළ පසුබැසීමක ලකුණු පෙන්නුම් කර නොමැති බවත් සමාගම වැඩිදුරටත් පවසා සිටියි.

Visits: 159