කොවිඩ්-19 පිළිබඳ කණස්සල්ල දර්ශක අගයන් පහත දමයි

අද (අගෝස්තු 12) දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු පුරාම කැපී පෙනෙන ලෙස කොටස් අලෙවි කිරීම් දැකගත හැකි වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහිදී මූලිකවම රට තුළ කොවිඩ්-19 වසංගතය තත්ත්වය සහ ඉන් ආර්ථිකයට එල්ලවන බව බලපෑම පිළිබඳ කනස්සල්ල හේතු වී තිබේ.

එසේම ආයෝජකයන්ගේ ඉහළ ආකර්ෂණයක් පවතින සමාගම් තුළ පවා අඩු කාර්යසාධනයක් පෙන්නුම් කිරීමද ආයෝජක විශ්වාසය අඩු වීමට හේතු වී තිබේ. කෙසේ වෙතත් දිනයේ අගභාගයේදී වෙළෙඳ පොළ තුළ යම් යථාවත්වීමක් පෙන්නුම් කළද එය දර්ශක අගයන් ඉහළ නැංවීම සඳහා ප්‍රමාණවත් නොවූ බවද එම සමාගම් පවසයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 7,964.04ත් ඒකක 8,108.97ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 7,980.91ක් බවට පත්විය. එය ඊයේ (අගෝස්තු 11) දිනයට සාපේක්ෂව ඒකක 114.66ක් එනම් -1.42%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදුකළ සාකච්ඡාවලට අනුව සිදු වුණු සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී, රේනුකා කැපිටල් පීඑල්සී, රෝයල් සෙරමික්ස් පීඑල්සී, සෙලාන් බැංකුව (ඡන්දහිමි) කොටස් ගනුදෙනු දිනයේ පිරිවැටුමෙන් 13.1%ක් සඳහා දායක වී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 38ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 46ක මිල ගණන් පහළ ගොස් ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ ඇම්බියොන් කැපිටල් පීඑල්සී TAP (+8.15), ලාෆ්ස් ගෑස් පීඑල්සී LGL (+3.25), හරිස්චන්ද්‍ර මිල්ස් පීඑල්සී HARI (+2.29), ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී SLTL (+1.63), ලංකා රියැලිටි ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී ASCO (+0.95), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (-19.96), එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (-13.23), එල්ඕඑල්සී ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් NIFL (-9.53), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (-7.45), වැලිබල් වන් පීඑල්සී VONE (-6.43යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,989.02ක අගයක් ගත් අතර, එය ඊයේ (අගෝස්තු 11දා) ‍ට සාපේක්ෂව ඒකක 52.15 ක එනම් -1.71%ක පහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 4.14ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (අගෝස්තු 11දා) වාර්තා කළ රුපියල් බිලියන 2.91ට සාපේක්ෂව 42% ක ඉහළ යාමකි. එහිදී විදෙස් ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.55ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 19.92%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 105.95ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 485.34ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලා යෑම්හි වටිනාකම රුපියල් මිලියන 379.38කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 36.85ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය සිලෝන් කෝල්ඩ් ස්ටොර්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 49.94 කි. එසේම සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 335.33ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 857ක් සඳහා ප්‍රවාහන අංශය දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 21%කි. එසේම විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් සහ ප්‍රාග්ධන භාණ්ඩ අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 647 ක සහ රුපියල් මිලියන 606ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 194