සන්ක්වික් ලංකා පුද්ගලික සමාගම “Great Place To Work” සහතික ලත් සමාගමක් බවට පත් වෙයි

කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත සී ඩබ්ලිව් මැකී පීඑල්සී සමාගම දේශීය හවුල්කරුවා ලෙස කටයුතු කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පළතුරු යුෂ බීම නිෂ්පාදන හා අලෙවි සමාගම වන සන්ක්වික් ලංකා පුද්ගලික සමාගම “Great Place To Work” සහතික ලත්  ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගම් අතරට තේරී පත්ව ඇතැයි පවසයි.

යම් ව්‍යාපාරයක් විසින් තම සේවක මණ්ඩලය වෙත ආයතනික වශයෙන් ඉටුවිය යුතුකම් ඉටුකරමින් මානවහිතවාදී විශිෂ්ඨ වැඩබිමක් නිර්මාණය කොට පවත්වාගෙන යාම අගයමින් සිදුකෙරෙන “Great Place To Work” ජාත්‍යන්තර වර්ගීකරණයේ ශ්‍රී ලාංකීය සමාගම් වර්ගීකරණය අතරට යම් සමාගමක් තේරී පත්වන්නේ පූර්ණ රහස්‍ය භාවයකින් යුතුව ක්‍රියාත්මක කෙරෙන ස්වාධීන හා අපක්ෂපාතී සමීක්ෂණ ක්‍රියාවලියක ප්‍රතිඵල මත පදනම්වය.

සේවකයන් ආයතනය පිළිබඳ දක්වන විශ්වාසය, එකිනෙකා කෙරෙහි දක්වන ගෞරවය, සාධාරණත්වය, තම වෘත්තිය පිළිබඳ අභිමානය හා කණ්ඩායම් හැඟීම මුසු මිත්‍රත්වයේ හැඟීම යන ප්‍රධාන නිර්ණායක 5 ක් ඔස්සේ සන්ක්වික් ලංකා පුද්ගලික සමාගමේ (SQL), සේවයේ යෙදී සිටින සේවක සේවිකාවන් ඉලක්ක කොට ගනිමින් Great Place To Work ජාත්‍යන්තරය විසින් සිදු කළ රහසිගත සමීක්ෂණයක දත්ත “Great Place To Work” ගෞරවය SQL වෙත හිමිකරදීමෙහිලා ඉවහල් විය.

සන්ක්වික් ලංකා පුද්ගලික සමාගම ඩෙන්මාකයේ CO-RO A/S ජාත්‍යන්තර සමාගමේ අනුබද්ධ දේශීය ව්‍යාපාර ආයතනයක් වන අතර එහි දේශීය හවුල්කරුවා වනුයේ ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළ ලියාපදිංචි ආයතනයක් වන සී ඩබ්ලිව් මැකී පීඑල්සී සමාගමයි.

ශ්‍රී ලංකාවේ පළතුරු යුෂ හා කෝඩියල් වෙළෙඳපොලේ 70% ක වෙළෙඳපොළ ප්‍රතිශතයකට හිමිකම් කියන සන්ක්වික් ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන් අතර වර්ෂ 1978 සිට ඉමහත් ගෞරවාදරයට පත් වූ විශ්වාසනීය සන්නාමයකි. එදාමෙදාතුර සන්ක්වික් ශ්‍රී ලාංකීය වෙළෙඳපොළ තුළ හිමිකරගත් විශිෂ්ඨත්වයට පාරිභෝගිකයන්ගේ ආශිර්වාදය මෙන්ම සේවක සේවිකාවන්ගේ කැපවීමද හේතුවේ.

 “Great Places To Work” ගෞරවය පිළිබඳ සන්ක්වික් ලංකා පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මංගල පෙරේරා මහතා අදහස් දක්වමින් “Great Places To Work සහතිකය අපගේ ව්‍යාපාරික ගමන් මග තුල අප ලැබූ විශිෂ්ඨ ගෞරවයක්. ආයතනයක සාර්ථකත්වය කෙරෙහි සේවක කේන්ද්‍රීය සේවා සංස්කෘතියක් පවත්වාගැනීමේ වැදගත්කම මේ සහතිකය මගින් තවදුරටත් තහවුරු කළා.” යැයි පැවසීය.

සන්ක්වික් ලංකා පුද්ගලික සමාගම “Great Place To Work” සහතිකය හිමිකරගැනීම පිළිබඳ අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ Great Place to Work ප්‍රධාන විධායක නිලධාරී ක්ෂණිකා රත්නායක මහත්මිය “Great Place To Work සහතිකය ලබාගැනීමෙන් පැහැදිළි වන්නේ සන්ක්වික් ලංකා පුද්ගලික සමාගම තමන්ගේ සේවකයන් ගැන දක්වන ධනාත්මක ආකල්පයයි.” යැයි පැවසුවාය.

Visits: 141