“මෙහෙම ගියොත් රටේ රන් සංචිතයත් නැතිවේවි” – ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන

පසුගිය ජූලි මාසය අවසන් වනවිට මෙරට විදේශ මුදල් සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 2.8ක් දක්වා ඉතාමත් දරුණු ලෙස පහත වැටී ඇතැයි හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන මහතා පවසයි.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මේ බව සඳහන් කර තිබේ. ඒ අනුව අද වනවිට රට තුළ භාවිතයට ගත හැකි ඩොලර් සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 2.4ක් බවත් ඒ මහතා මෙහිදී පවසා සිටියි.

විශේෂයෙන්ම මෙම සංචිත එලෙස පවත්වාගෙන යාම සඳහා මහ බැංකුව විසින් පසුගිය පෙබරවාරි 20 වැනිදා තමන් සතුව තිබූ රන් සංචිතයෙන් ටොන් 13ක් අලෙවි කර ඇති බව පවසන විජේවර්ධන මහතා, ඉදිරියේදී තවදුරටත් විදේශ මුදල් සංචිතයේ ද්‍රවශීලතාව වෙනුවෙන් ඉතිරි රත්රන් ටොන් 6ද අලෙවි කිරීමේ අවස්ථාවක් උදා වෙනු ඇතැයිද පවසයි.

“ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය පෙබරවාරි 20 වැනිදා රත්රන් ටොන් 13ක් අලෙවි කලා. සමහර විට විදේශ සංචිත ඉහළ නංවා ගැනීමට ඉතිරි ටොන් 6ත් අලෙවි කිරීමේ අවස්ථාවක් තිබෙනවා. එහෙම කළොත් තවදුරටත් රටේ රත්රන් නැති වෙනවා.” ඒ මහතා සඳහන් කරයි.

කෙසේ වෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් අගෝස්තු මාසයේදී ලබාදීමට පොරොන්දු වී තිබෙන මූල්‍ය පහසුකම (SDR – Special Drawing Rights) හේතුවෙන් සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 3.6ක් දක්වා ඉහළ යනු ඇතැයිද ඒ මහතා පවසයි.

එසේම දිනෙන් දින රටෙහි COVID19 ආසාදිතයන්ද වර්ධනය වෙමින් පවතින බවත් පවසන ඒ මහතා, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉක්මණින්ම ක්‍රියාත්මක කළ හැකි සැලසුමක් සමගින් ඉදිරියට පැමිණිය යුතු බවත් සඳහන් කරයි.

“මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ක්‍රියාත්මක කළ හැකි සැලසුමක් සමගින් ඉක්මනින්ම මේ සඳහා ඉදිරිපත් වෙන්න ඕනේ. ඒ හරහා ජාත්‍යන්තර ප්‍රජාවට ඒත්තු ගන්වන්න වෙනවා අපි නිවැරදි දිශානතියකට අනුව සංවර්ධනය වෙනවා කියලා.” ආචාර්ය විජේවර්ධන මහතා පවසයි.

එසේ නොවුණොත්, වෙනත් විකල්පයක් නොමැතිව තවදුරටත් ආනයනය සීමා කිරීමට සිදුවනු ඇති බවත් හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.

Visits: 385