ඉම්තියාස් බුහර්දීන් සිය ඇම්බියොන් හෝල්ඩිංග්ස් කොටස් හිමිකම 10%ක් දක්වා ඉහළ නංවා ගනී

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ඇම්බියොන් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමෙහි කොටස් මිලියන 4.6ක (4,606,203ක) ප්‍රමාණයක් Almas Organisation (Pvt) Ltd සහ Carlines Holdings (Pvt) Ltd යන සමාගම් එක්ව මිලදී ගැනීමට පසුගියදා කටයුතු යොදා ඇතැයි පවසයි.

මෙහිදී කොටසක් රුසියල් 33.87 බැගින් මිලදී ගැනීම සිදුව ඇති අතර, සමස්ත ගනුදෙනුවෙහි වටිනාකම රුපියල් මිලියන 156ක් (156,012,095.61) ලෙස සටහන්ව තිබේ.

මෙම අත්පත් කරගැනීමත් සමගින්ම Almas Organisation (Pvt) Ltd සහ Carlines Holdings (Pvt) Ltd යන සමාගම් සතු ඇම්බියොන් හෝල්ඩිංග්ස් පීඑල්සීහි කොටස් හිමිකාරීත්වය 10.02%ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඇම්බියොන් හෝල්ඩිංග්ස් සමාගමේ කොටස් හිමිකාරීත්වය අනුව 2020 මාර්තු 31 වැනිදා වනවිට එහි කොටස් 7,408,955ක් එනම් 2.08%ක ප්‍රතිශතයක් අමානා බැංකුව හරහා Almas Organisation (Pvt) Ltd වෙත හිමිව තිබුණි. එසේම හැටන් නැෂනල් බැංකුව හරහා Carlines Holdings (Pvt) Ltd සමාගම වෙත කොටස් 5,439,845ක් එනම් 1.25%ක කොටස් ප්‍රතිශතයක් හිමිවී තිබුණි. මීට අමතරව තවත් කොටස් 21ක්ද එම සමාගම වෙත හිමිව තිබේ.

ඒ අනුව 2020 මාර්තු 31 වැනිදා වන විට සමාගම් දෙක සතුව තිබූ ඇම්බියොන් හෝල්ඩිංග්ස් සමාගමේ සමස්ත කොටස් ප්‍රතිශතය 3.60%කි. මෙම Almas Organisation (Pvt) Ltd සහ Carlines Holdings (Pvt) Ltd යන සමාගම් මෙරට ප්‍රමුඛ පෙළේ ආයෝජකයෙකු වන ඉම්තියාස් බුහර්දීන් මහතාට අයත් සමාගම් වෙයි.

ඒ මහතා අද වනවිට Carlines Holdings (Pvt) Ltd හි ප්‍රධාන විධායක නිලධාරියා ලෙසත්, Almas Organisation (Pvt) Ltd හි කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙසත් කටයුතු කරයි.

Visits: 650