LMD සඟරාවේ 2021 වසරේ වඩාත් ගෞරවනීය ව්‍යාපාරික පුද්ගලයන් 25 දෙනා නම් කෙරේ

මෙරට තුළ ප්‍රකාශයට පත් කෙරෙන මුල් පෙළේ ව්‍යාපාරික සඟරාවක් වන LMD සඟරාව වාර්ෂිකව ප්‍රකාශයට පත් කරන Most Respected සඟරාව තුළ 2021 වසරේ වඩාත් ගෞරවනීය සමාගම් සහ වඩාත් ගෞරවනීය ව්‍යාපාරික පුද්ගලයන්ගේ (Most Respected Businesspeoples) ලැයිස්තුවද ප්‍රසිද්ධියට පත් කිරිමට කටයුතු යොදා ඇත.

NielsenIQ ආයතනය මගින් සිදු කරන ලද නවතම සමීක්ෂණයක ප්‍රතිඵල අනුව LMD සඟරාව මෙම ලැයිස්තුව ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව කොවිඩ්-19 වසංගතය නිසා උද්ගතව පවතින අස්ථාවර කාලයේදී වුව, අනෙක් පුද්ගලයන් වෙත ආදර්ශයක් බවට පත්වීමට සමත් වූ ව්‍යාපාරික චරිත මෙහිදී එම ලැයිස්තුවට තෝරා ගෙන තිබේ.

“පසුගිය වසරේ ආරම්භයේ සිටම ලොව පුරා කොවිඩ්-19 වසංගතයේ ව්‍යාප්තියත් සමගින්ම, ලොව පුරා ව්‍යාපාරික නායකයන්ට මෙම අස්ථාවර වපසරිය තුළ සිය සමාගම් නියමිත දිශානතියක් වෙත පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් වැදගත් භූමිකාවක් රඟ දක්වන්නට සිදු වුණා.”  සඟරාවේ සඳහන්ව තිබේ.

ඒ අනුව LMD සඟරාවේ මූලිකත්වය සහ සංකල්පය යටතේ, NielsenIQ ආයතනය මගින් සිදු කරන ලද මෙම සමීක්ෂණයේදී මෙරට සමාගම් අතරින් වඩාත් ගෞරවනිය සමාගම පිළිබඳව කරුණු විමසද්දීම, මෙලෙස රටෙහි ‘වඩාත් ගෞරවනීය ව්‍යාපාරික පුද්ගලයා’ කවුරුන්ද යන්න සෙවීමක් සිදු කර තිබේ.

මෙහිදී ලැබුණු ප්‍රතිඵලවලට අනුව ඉදිරි පෙළ සිටින මුල්ම ව්‍යාපාරිකයන් 25 දෙනෙකුගේ ලැයිස්තුවක් සකස් කිරිමට LMDසඟරාව කටයුතු යොදා ඇත.

විශේෂයෙන්ම මෙම පෙර නොවූ විරූ මෙවැනි කාලයකදී නායකත්ව දැක්මකින්, අධිෂ්ටානයෙන් යුක්තව සහ නවෝත්පාදන සහිතව සිය සමාගම් ඉදිරියට රැගෙන යාමට කටයුතු කරන ව්‍යාපාරික පුද්ගලයන් අතරින් මොවුන් තෝරා ගැනීම සිදු කර ඇත.

ඒ අනුව ඉංග්‍රීසි අකාරාදි පිළිවෙල අනුව මෙම ලැයිස්තුවට ඇතුළත් 2021 වසරේ වඩාත් ගෞරවනීය ව්‍යාපාරික පුද්ගලයන් 25 දෙනා වන්නේ මහේෂ් අමලීන්, හේමක අමරසූරිය, කෙන් බාලේන්ද්‍රන්, ක්‍රිෂාන් බාලෙන්ද්‍ර, ආචාර්ය ජයන්ත ධර්මදාස, මෙරිල් ජේ. ප්‍රනාන්දු, ආචාර්ය කිෂු ගෝමස්, ඔටාරා ගුණවර්ධන, හැරී ජයවර්ධන, දිලිත් ජයවීර, ලලිත් කොතලාවල, ඉෂාර නානායක්කාර, අෂ්රොෆ් ඕමාර්, රන්ජිත් පේජ්, මොහාන් පණ්ඩිතගේ, රන්ජිත් පණ්ඩිතගේ, අශෝක් පතිරගේ, ධම්මික පෙරේරා, සුසන්ත රත්නායක, රාජ්කුමාර් රෙන්ගනාදන්, සුපුන් වීරසිංහ, හේමචන්ද්‍ර වෑගපිටිය, ආරියසීල වික්‍රමනායක, ආචාර්ය. හාන්ස් විජේසූරිය සහ කස්තුරි චෙල්ලරාජා විල්සන් යන මහත්ම මහත්මීන්ය‍.

2020 වසරේ Most Respected Businesspeoples ලැයිස්තුව හා සැසඳීමේදී මෙවර ඊට කාන්තාවන් දෙදෙනකුද ඇතුළත්ව තිබීම විශේෂත්වයක් බවද LMD සඟරාව පවසයි.

Visits: 470