ගජ හෝල්ඩිංග්ස් රු.බිලියන 5ක ආයෝජනයකින් ශීතාගාරයක් සහ නිවාස ව්‍යාපෘතියක් ඉදිකිරිමට යයි

සිංගප්පූරුව සහ මැලේසියාව මූලස්ථානය කරගත් මෙරට හිමිකාරීත්වය සහිත බහුජාතික සමාගමක් වන ගජ හෝල්ඩිංග්ස් පෞද්ගලික සමාගම විදෙස් ආයෝජකයන් කිහිප දෙනෙකුද සමගින් එක්ව ඉදිරියේදී ශ්‍රී ලංකාව තුළ ශීතාගාර පරිශ්‍රයක් සහ දැවැන්ත නිවාස ව්‍යාපෘතියක් සඳහා මුදල් ආයෝජනය කිරීමට සූදානමින් සිටින බව පවසයි.

මේ සම්බන්ධයෙන් එම සමාගම නිකුත් කළ නිවේදනයක් මගින් අදහස් දක්වන ගජ හෝල්ඩිංග්ස් පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ගයත් ජයසිංහ මහතා, මෙම ආයෝජන දෙකෙහිම වටිනාකම රුපියල් බිලියන 5ක් පමණ වන බව පවසා සිටියි.

මේ අතරින් ශීතාගාර පරිශ්‍රය මීරිගම පිහිටි අක්කරයක් විශාල භූමියක පිහිටු වීමට නියමිතව තිබේ. මෙය ශ්‍රී ලංකාව තුළ ඉදි කෙරෙන මෙවැනි ආකාරයේ පළමු ශීතාගාරයද වෙයි. එහිදී මැලේසියානු සමාගමක් සමගින් ඒකාබද්ධ වී මෙම ව්‍යාපෘතිය සිදු කරන බවත් ජයසිංහ මහතා පවසා තිබේ.

මෙලෙස ශීතාගාර පරිශ්‍රයක් සඳහා ආයෝජනය කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ජයසිංහ මහතා, එවැනි පහසුකමක් නොමැති වීමෙන් රටෙහි ඵලදාව නෙලන සමයේදී දරුණු අපතේ යාමක් සිදුවන බව පවසා සිටියි. “අපි අමු මිරිස් ගත්තොත්, දෙහි මිල ගත්තොත් ඵලදාව නෙලන වාරයේදී එහි වටිනාකම පහළට වැටෙනවා. ඒත් අවාරයේදී කිලෝවක් රුපියල් 1,000කටත් වැඩි මිලකට අලෙවි වෙනවා. මේකට හේතුව තමයි රජය සතුවවත් මේ නිෂ්පාදන ගබඩා කර තබා ගැනීමේ පහසුකම් නොමැති වීම.” ඔහු පවසා සිටියි.

ඒ අනුව මෙම ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාවේ විශාලතම ශීතාගාර පහසුකම් සහිත පරිශ්‍රය පිහිටුවමින් එහි ඉඩ රජයේ මෙන්ම පෞද්ගලික අංශය වෙත, විශේෂයෙන්ම කෘෂි සහ පශුසම්පත් සමාගම් වෙත කුලියට ලබා දීම අරමුණ වී තිබේ.

මෙම ක්‍රමවේදය ගබඩා කිරීම් සඳහා ගෝලීයව ක්‍රියාත්මක වුවත්, අවාසනාවකට ශ්‍රී ලංකාව තුළ මෙතෙක් එය කියාත්මක නොවී ඇතැයිද ජයසිංහ මහතා පවසයි.

ඔහු සඳහන් කරන ආකාරයට මෙහිදී චීන තාක්ෂණය යොදා ගනිමින් මෙම ශීතාගාර පරිශ්‍රය ඉදිකිරිම සැලසුම වී තිබේ. මෙහිදී පරිශ්‍රය සඳහා අවශ්‍ය බලශක්තිය 95%ක්ම විදුලිජනක යන්ත්‍ර සහ සූර්ය බලශක්තිය හරහා ලබා ගැනීම අපේක්ෂාව වී ඇත.

විශේෂයෙන්ම මෙම ශීතාගාර පරිශ්‍රය ගුවන් තොටුපොළ භාණ්ඩ ප්‍රවාහනය සඳහා අවශ්‍ය ගබඩා කිරීම් වෙනුවෙන්  සහයෝගයක් ලබා දීම වෙනුවෙන් මීරිගමදී පිහිටුවීමට සැලසුම වී ඇත.

සිංගප්පූරුවේ සහ මැලේසියාවේ ස්ථාපිත ගජ හෝල්ඩිංග්ස් ආයතනය අද වනවිට සිය පරිපාලිත සමාගම් රැසක්ම ශ්‍රී ලංකාවේ සිට චීනය දක්වාම ව්‍යාප්ත කිරීමට සමත්ව සිටියි. ඒහිදී කැණීම්, මාර්ග ඉදිකිරීම්, කෘෂි රසායනික සහ කෘෂි උපකරණ බෙදාහැරීම් යනාදී ක්ෂේත්‍ර තුළ එම සමාගම ක්‍රියාත්මකය‍.

මේ අතර පසුගියදා තිස්සමහාරාමයේ පිහිටි තිස්ස වැවෙහි රොන් මඩ ඉවත් කිරීමේ ව්‍යාපෘතිය සඳහාද දායකත්වය ලබා දෙන්නේ මෙම ගජ හෝල්ඩිංග්ස් සමාගමයි.

මේ අතර අද වනවිට කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඈත ප්‍රදේශවල සිට බොහෝ සේවකයන් පිරිසක් නගරයට පැමිණීම සිදු කරන බව නිරීක්ෂණය කර තිබෙන බවත්, එම පිරිස් ඉලක්ක කරගනිමින් කුරුණෑගල නගර සීමාව තුළ නිවාස ව්‍යාපෘතියක් ඉදිකිරීමට තීරණය කළ බවත් ජයසිංහ මහතා පවසයි.

“කුරුණෑගල නගර සීමාවේ පිහිටි අක්කර 1.5ක භුමියක් සඳහා දැනටමත් අපි එකඟතාවකට පැමිණිලා තියෙන්නේ. එහි සිංගප්පූරු ගෘහ නිර්මාණ සැලැස්මකට අනුව නිවාස ඒකක 500ක් ගොඩනැගෙනවා. මේ ආයෝජනයේ සමස්ත වටිනාකම රුපියල් බිලියන 3ක් ඉක්මවාවි.” ඒ මහතා පවසා ඇත.

මෙහිදී අදාළ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය අරමුදල් සම්පාදනය සිංගප්පූරු සහ මැලේසියානු ආයෝජකයන් රැසකගේ සහභාගිත්වයෙන් සිදු කෙරෙන බවත්, මෙම නිවාස ඒකක අලෙවියෙන් ලැබෙන ආදායමද ඊට යොදවන බවත් සඳහන් වෙයි. මෙහිදී එම නිවාස ව්‍යාපෘතිය සතුව සියලුම පහසුකම් ඇතුළත් වන අතර පිහිනුම් තටාකයක්, සාප්පු සංකීර්ණයක්, විනෝදාස්වාදන පහසුකම්, බහුතිර සිනෙමා සහ විශාල ක්‍රීඩා පරිශ්‍රයක්ද එහි පවතී. මෙම සමස්ත ව්‍යාපෘතිය වසර 2023 වන විට සූදානම් කිරීම සැලසුම වී ඇතැයිද ගජ හෝල්ඩිංග්ස් පෞද්ගලික සමාගම වැඩිදුරටත් පවසයි.

Visits: 391