සෙලින්කෝ ලයිෆ් මාර්ගගත ශිෂ්‍යත්ව ප්‍රදානයේදී ‘ප්‍රණාම’ ශිෂ්‍යත්ව 162 ක් බෙදා දෙයි

අධ්‍යයන සහ බාහිර ක‍්‍රියාකාරකම් වලදී අතිවිශිෂ්ට දක්ෂතා දැක්වූ සිසුන් 162 ක් සඳහා මෙවර රුපියල් මිලියන 11.8 ක් වටිනා ශිෂ්‍යත්ව ලබාදෙමින් සෙලින්කෝ ලයිෆ් ‘ප‍්‍රණාම’ ශිෂ්‍යත්ව වැඩසටහනේ 20 වන අදියරේ ශිෂ්‍යත්ව ප‍්‍රදානය කිරීමේ උත්සවය පළමු වරට පසුගියදා මාර්ගගත ක‍්‍රමය ඔස්සේ පවත්වන ලද බව පවසයි.

මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා සඳහන් කරන්නේ මෙම ශිෂ්‍යත්ව ප‍්‍රදානයට අදාළ සහතික, පදක්කම් සහ ත්‍යාග අගෝස්තු මාසයේ පළමු සතියේ සිට ශාඛා මට්ටමින් ඒ ඒ ජයග‍්‍රාහකයින්ට ප‍්‍රදානය කරන බවයි.

Zoom වීඩියෝ තාක්ෂණය ඔස්සේ පසුගියදා පැවැත් වූ වැඩසටහනට ශිෂ්‍යත්ව ලාභීන් සහ රට පුරා සිටින සෙලින්කෝ ලයිෆ් කාර්ය මණ්ඩලය සහභාගී විය. මෙහි පිළිගැනීමේ කතාව සෙලින්කෝ ලයිෆ් කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, තුෂාර රණසිංහ මහතා සිදුකළ අතර ප‍්‍රධාන දේශනය ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් සහභාගී වූ රුහුණු විශ්ව විද්‍යාලයේ උපකුළපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන මහතා සිදු කළේය.  

මෙම ශිෂ්‍යත්ව ප‍්‍රදානයේදී පහ වසර ශිෂ්‍යත්වයෙන් දිස්ත‍්‍රික් මට්ටමෙන් ඉහළම ලකුණු ලබාගන්නා සෙලින්කෝ ලයිෆ් ඔප්පු හිමියන්ගේ දු පුතුනට හා අ. පො. ස. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගයන්ගෙන් දිස්ත‍්‍රික් මට්ටමේ ඉහළම ප‍්‍රතිඵල ලබා ගන්නා සෙලින්කෝ ලයිෆ් ඔප්පු හිමියන්ගේ දරු දැරියන් වෙත මුදල් තිළිණ සහිත සෙලින්කෝ ලයිෆ් ‘ප‍්‍රණාම’ ශිෂ්‍යත්ව ලබාදෙන අතර ක‍්‍රීඩාවල සංස්කෘතියල කලාවල නාට්‍ය සහ නව සොයා ගැනීම් සඳහා ජාතික හෝ ජාත්‍යන්තර මට්ටමේ ජයග‍්‍රහණයන් හිමි කරගත් තරුණ තරුණියන්ටද මුදල් තිලිණ සහිත සෙලින්කෝ ලයිෆ් ‘ප‍්‍රණාම’ ශිෂ්‍යත්ව පිරිනැමේ. මීට අමතරව, සෙලින්කෝ ලයිෆ් ඔප්පු හිමියකුගේ දරුවකු අ. පො. ස. උසස් පෙළ විභාගයේදී දිස්ත‍්‍රික්ක මට්ටමින් දෙවැනිල තෙවැනි හෝ සිව්වන ස්ථාන හිමිකර ගෙන ඇත්නම් එම ජයග‍්‍රහණ සඳහාද විශේෂ මුදල් ශිෂ්‍යත්ව පිරිනැමීමට සෙලින්කෝ ලයිෆ් කටයුතු කර ඇත.

මෙම නවතම ‘ප‍්‍රණාම’ ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ 2020 පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට දක්ෂතා දැක්වූ සිසු දරුවන් 30 දෙනෙකු සඳහා එක් අයෙකුට රුපියල් 120,000 ක් බැගින් වන ශිෂ්‍යත්ව සමාගම විසින් පරිත්‍යාග කළ අතර එම ශිෂ්‍යත්ව අවුරුදු පහක් පුරා මාසික වාරික වශයෙන් සිසුන්ට ලබාදීමට කටයුතු කරනු ඇත. මීට අමතරව, 2019 අ. පො. ස. සාමාන්‍ය පෙළ විභාගයේදී විශිෂ්ට දක්ෂතා දැක්වූ සිසු දරුවන් 25 දෙනෙකු සඳහා එක් අයෙකුට රුපියල් 84,000 ක් බැගින් වන ශිෂ්‍යත්ව ප‍්‍රදානය කළ අතර එම මුදල් මාසික වාරික වශයෙන් අවුරුදු දෙකකින් ලබාදීමට සමාගම සහතික වී තිබේ. එසේම, 2019 අ. පො. ස. උසස් පෙළ විභාගයේදී දිස්ත‍්‍රික් පළමු වෙනියා බවට පත්වූ සිසු දරුවන් 25 දෙනෙකු සඳහා එක් අයෙකුට රුපියල් 144,000 ක් බැගින් සමාගම විසින් ප‍්‍රදානය කළ අතර එම මුදල් මාසික වාරික වශයෙන් අවුරුදු තුනකින් ලබාදීමට සමාගම කටයුතු කරනු ඇත. මෙම කණ්ඩායමේ සාමාජිකයින්ට සමාගම විසින් විශේෂ ප්‍රදානයක් ලෙස ලැප්ටොප් පරිගණකයක් බැගින්ද ලබා දෙනු ඇත. මීට අමතරව, පෙන් ඩ‍්‍රයිව් එකක්, වයර්ලස් මවුස් එකක් සහ බ්ලූටූත් ස්පීකර් එකක් තිබෙන තෑගි පාර්සල්ද මෙම කණ්ඩායමේ සාමාජිකයින්ට සමාගම විසින් පරිත්‍යාග කරන ලදී.

එසේම, 2019 අ. පො. ස. උසස් පෙළ විභාගයේදී දිස්ත‍්‍රික්ක වලින් දෙවන, තෙවන හා සිව්වන ස්ථාන ලබාගත් දරුවන් 73 දෙනෙකුට රුපියල් 30,000 බැගින් ලබාදීමටද සමාගම කටයුතු කළේය.

මීට අමතරව, 2019 සහ 2020 වසර වලදී ක‍්‍රීඩා, නාට්‍ය, නවෝත්පාදනය සහ නිර්මාණශීලි අංශයන්ගෙන් විශිෂ්ටතා දැක්වූ දරුවන්ට කුසලතා සම්මාන හිමිවූ අතර ඒ වෙනුවෙන් එක් අයෙකු වෙත සමාගම රුපියල් 35,000 ක මුදලක් ප‍්‍රදානය කළේය. මේ සියල්ලට අමතරව මෙම විභාග තුනේදී දිස්ත‍්‍රික්ක මට්ටමින් පළමු දස දෙනා අතරට පත්වූ සිසුදරුවන් 550 දෙනෙකු තෝරාගෙන ඔවුන්ට ඇගයීමේ සහතිකයක් සහ ත්‍යාග පාර්සලයක් සමාගම විසින් ඔවුන් ගනුදෙනු සඳහා සම්බන්ධ වන ශාඛා වලදී ළඟදීම පිරිනමන බව සමාගම සඳහන් කරයි.

Visits: 30