ආචාර්ය ජගත් වැල්ලවත්ත ලංකා හොස්පිටල්ස් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉවත් වෙයි

ලංකා හොස්පිටල්ස් කෝපරේෂන් පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකුවූ ආචාර්ය ජගත් වැල්ලවත්ත මහතා එම ධුරයෙන් ඉවත්ව ඇතැයි පවසයි.

පසුගිය අගෝස්තු 03 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ඉවත්විම සිදුව තිබේ. මෙම ඉවත්වීම සිදුවන අවස්ථාව වනවිට වැල්ලවත්ත මහතා සතුව ලංකා හොස්පිටල්ස් කෝපරේෂන් සමාගමේ කිසිදු කොටස් හිමිකාරීත්වයක් නොවූ බවත් සඳහන් වෙයි.

ජගත් වැල්ලවත්ත මහතා 2020 නොවැම්බර් 20 වැනිදා ලංකා හොස්පිටල්ස් පීඑල්සීහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස පත්විය. එහිදී ඒ මහතා මේ දක්වා ස්වාධීන නොවන විධායක නොවන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කළේය.

සේ අතර, එම පත්විම ලබන අවස්ථාව වනවිට ජගත් වැල්ලවත්ත මහතා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත්වීම් ලැබ සිටියේය.

ලංකා හොස්පිටල්ස් කෝපරේෂන් පීඑල්සීහි කොටස්හිමිකාරීත්වය අතරින් කොටස් 51.34%ක හිමිකාරිත්වයක් පවතින්නේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවටයි. එහිදී රක්ෂණ සංස්ථාවේ ජීවිත රක්ෂණ අරමුදල වෙත 26.27%ක හිමිකාරීත්වයක්ද, රක්ෂණ සංස්ථාවේ සාමාන්‍ය රක්ෂණ අරමුදල වෙත 25.07%ක් හිමිකාරීත්වයක්ද සහිතය.

ආචාර්ය ජගත් වැල්ලවත්ත මහතා ඉදිරියේදී ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති ධුරයෙන් ඉවත්වීමට නියමිතව තිබේ. එසේම ඒ මහතා දැනටමත් ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස යෝජනා වී තිබෙන බවත් රජයේ තොරතුරු පවසයි.

Visits: 168