2020/21 මූල්‍ය වර්ෂයේදී පැල්වත්ත කිරි සමාගමේ බදු පෙර ලාභයෙහි 148%ක වර්ධනයක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ කිරි සන්නාමයක් වන පැල්වත්ත කිරි සමාගම 2020 /21 වසර තුළ දී සමාගමේ බදු ගෙවීමට පෙර ලාභය (PBT) 148% ලෙස විශාල මූල්‍යමය වර්ධනයක් හිමිකර ගෙන ඇතැයි පවසයි.

කෙසේ වෙතත් 2020/21 වසර තුළදී  දී සමාගම විසින් හිමිකරගෙන ඇති ලාභය අයවැයගත ලාභ ඉලක්කයට වඩා අඩුවී ඇත. එහිදී සමාගමේ අපේක්ෂිත දළ ලාභය 180% වූ අතර බදු ගෙවීමට පෙර ලාභය (PBT) 148%  ලෙස වර්ධනය වී ඇත.

“මෙය ඇත්ත වශයෙන්ම පැල්වත්ත කිරි සමාගම ලැබූ විශාල ජයග්‍රහණයක් වන අතර 2019/20 මුදල් වර්ෂයේදී සමාගම බදු පෙර ලාභයේ ( PBT හී) අලාභයක් වාර්තා කර තිබුණි.” සමාගම පවසයි.

කොවිඩ් තත්ත්වය හමුවේ කරන ලද සීමා කිරීම් මධ්‍යයේ වුවද සමාගම සමස්ත ගොවීන් සංඛ්‍යාව  6500 දක්වා 16% කින් ඉහළ නැංවීමට සමත් විය. එසේම 2020/21 දී සමාගම විසින් ගොවීන්ට රුපියල් බිලියන 3.18 ක් ගෙවා ඇති අතර එය 70% ක වර්ධනයකි. එලෙසම  වැඩිම අලෙවියක් ඇති නිෂ්පාදන දහය අතුරින් තුනක් හැරුණු විට නිෂ්පාදන හතක් ද 2020/21 වසර තුළ වර්ධනයක් පෙන්නුම් කර ඇත.

2020/21 වසර තුළ දී වැඩිම අලෙවියක් ඇති නිෂ්පාදන පෙළ ලෙස සම්පුර්ණ යොදය සහිත කිරි පිටි 76% ක වර්ධනයක් පෙන්නුම් කරයි. දෙවන ඉහළම අලෙවිය සහිත නිෂ්පාදනය වන්නේ බටර් වන අතර එය 42% ක වර්ධනයක් පෙන්නුම් කරයි. තෙවන ඉහළම අලෙවිය යෝගට් වන අතර එය 49% ක වර්ධනයක් පෙන්නුම් කරයි.

මීට අමතරව යෝගට් පානය සහ මුදවන ලද කිරි  යන නිෂ්පාදන දෙකම 392% සහ 486%ක් ලෙස අලෙවියෙහි ප්‍රබල වර්ධනයක් පෙන්නුම් කර තිබේ. එලෙසම අනෙකුත් නිෂ්පාදන අංශ තුළදීද 2020/21 වසරේදී වර්ධන වේගය 100% ඉක්මවන බව පෙන්නුම් කර ඇත.

ඒ අතරින් ගිතෙල් විශාලතම අලෙවියක් සහිත නිෂ්පාදනය වන අතර හයවන ස්ථානයේ සිටියද, 2020/21 දී සියලුම නිෂ්පාදන අතර ඉහළම වර්ධනයක් පෙන්නුම් කරමින් එය 1070% ක එනම් දස ගුණයක වර්ධනයක් වාර්තා කර තිබේ.

“2020/ 21 මුල්‍ය වර්ෂය දෙස මෙහෙයුම් දෘෂ්ටි කෝණයකින් බැලූ විට සමාගම සිය මෙහෙයුම් කාර්යක්‍ෂමතාව ඉහළ නැංවීමෙන් හා  ව්‍යවසාය සම්පත් සැලසුම් (ERP) වන SAP හඳුන්වා දීමෙන් ස්වයංක්‍රීයකරණය ශක්තිමත් කල වසරකි.” යනුවෙන්ද පැල්වත්ත කිරි සමාගම සඳහන් කරයි.

Visits: 435