ට්‍රෙවින් ප්‍රනාන්දුපුල්ලේ යුනියන් බැංකුවෙහි උප සභාපති ධුරයට

යුනියන් බැංකුවෙහි උප සභාපතිවරයා ලෙස ට්‍රෙවින් ප්‍රනාන්දුපුල්ලේ මහතා තෝරා ගෙන ඇතැයි එම බැංකුව පවසයි. එහි අධ්‍යක්ෂ මණ්ඩලය මගින් මෙම නව පත් කිරිම සිදු කර තිබේ. ඒ අනුව 2021 අගොස්තු 30 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඒ මහතා උප සභාපති ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතය.

මෙතෙක් කලක් බැංකුවෙහි උප සභාපතිවරයා ලෙස කටයුතු කළ මොහොමඩ් හිෂාම් සබ්‍රි ගවුස් මහතා ලබන අගෝස්තු 29 වැනිදා සිට එම ධුරයෙන් ඉවත්වීමත් සමගින්ම හිස්වන ධුරය සඳහා ප්‍රනාන්දුපුල්ලේ මහතා පත්වන බව සමාගම පවසයි.

විධායක නොවන, ස්වාධීන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කළ ගවුස් මහතා බැංකුවෙහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස වසර 9ක ධුර කාලයක් සම්පූර්ණ කිරීමත් සමගින්ම මෙලෙස ඉන් ඉවත්ව යාමට තීරණය කර ඇත.

නව උප සභාපතිවරයා ලෙස පත්වීමට නියමිත ට්‍රෙවින් ප්‍රනාන්දුපුල්ලේ මහතාද බැංකුවෙහි විධායක නොවන, ස්වාධීන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කරයි. 2020 වසරේදී සබ්‍රි මහතා උප සභාපතිවරයා ලෙස පත් වන විට ප්‍රනාන්දුපුල්ලේ මහතා ජ්‍යෙෂ්ඨතම ස්වාධීන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු බවට පත් කෙරිණි.

ප්‍රවීණ බැංකුකරුවෙකු වන ටෙවින් සිල්වෙස්ටර් ඇන්තනි ප්‍රනාන්දුපුල්ලේ මහතා මීට පෙර AMW Capital Leasing and Finance Plc සමාගමේ සභාපතිවරයා ලෙසින්ද කටයුතු කර තිබේ. එසේම ඒ මහතා ඩච්ලංකා ටේලර් මැනියුෆැක්චර්ස් ලිමිටඩ් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙසද කටයුතු කර ඇත.

ට්‍රෙවින් මහතා 1978 වසරේ සිට 2008 වසර දක්වා වසර තිහක කාලයක් HSBC බැංකුවෙහි (දේශීයව මෙන්ම ජාත්‍යන්තරවද) සේවය කර තිබේ. ඒ මහතා 2008 වසරේදී ඉන් විශ්‍රාම යන විට බැංකුවෙහි නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරියා විය.

Visits: 75