කෘත්‍රිම ධාවන පථ 5ක ව්‍යාපෘතියකට රවී විජේරත්නගේ සහ දිලිත් ජයවීරගේ සමාගම් ලංසු තබයි

තෝරාගත් පාසල් 02 ක් සහ ක්‍රීඩා සංකීර්ණ 03ක් සඳහා මීටර් 130ක මංතීරු 04ක Full PUR Synthetic පුහුණු ධාවන පථ සැලසුම් නිර්මාණය කොට ඉදි කිරීම සහ ඇතිරීම සම්බන්ධයෙන් වන ව්‍යාපෘතිය සඳහා ඉදිරිපත්ව ඇති ලංසු පිළිබඳව විමර්ශනය කිරීම මේ වනවිට සිදුවෙමින් පවතින බව තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙම ව්‍යාපෘතියට අදාළව දේශීය ආයතන හතරක් මගින් ලංසු ලේඛන ලබා ගෙන ඇති අතර ඉන් සමාගම් දෙකක් පමණක් බද්ධ ව්‍යාපාර ගිවිසුම් ඇති කරගනිමින් මේ සඳහා වන ලංසු ලේඛන ඉදිරිපත් කර ඇතැයි එම අමාත්‍යාංශය නිවේදනයක් මගින් සඳහන් කරයි.

තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කරන ආකාරයට මෙහිදී Senura Civil Engineering (Pvt) Ltd සමාගම ඇමෙරිකා එක්සත් ජනපදයේ Beynon Sports Surfaces සමාගම හා ඒකාබද්ධව මෙම ලංසු ලේඛන ඉදිරිපත් කර ඇති එක් සමාගමකි. අනෙක් සමාගම George Steuart Engineering (Pvt) Ltd වන අතර, ඔවුන් Pro Plastic සමාගම හා එක්ව ලංසු ඉදිරිපත් කර තිබේ.

මෙහිදී මෙම ව්‍යාපෘතියට අදාළව ඉංජිනේරුවන්, පරිපාලකයින්, ක්‍රීඩා ක්ෂේත්‍රයේ නිලධාරීන් සහ ගණකාධිකාරීවරුන්ගෙන් සමන්විත 05 දෙනෙකුගෙන් යුත් තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් මේ වන විට ලංසු ඇගයීම සිදුකෙරෙමින් පවතින අතර එම කටයුතු අවසන් වූ පසු ලංසු ප්‍රදානය සිදු කරනු ලබන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.

මෙම ලංසු ඉදිරිපත් කර ඇති සමාගම් දෙක අතරින් Senura Civil Engineering (Pvt) Ltd සමාගම, මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන රවී විජේරත්න මහතාට අයත් Rank Holdings Consortium of Companies වෙත අයත් ඉදිකිරීම් සමාගම වෙයි.

සෝමදාස ගාල්ලගේ සහ ප්‍රීති සුජීව වන්නිආරච්චි කංකානම්ගේ යන දෙපළ එක්ව 2002 වසරේදී සෙනුර සිවිල් ඉන්ජිනියරිං පෞද්ගලික සමාගම පිහිටුවා තිබේ. 2018 සැප්තැම්බර් මාසයේදී ඔවුන් විසින් සිය සමාගම රවී විජේරත්න මහතාට අයත් RANK Holdings වෙත පැවරීමක් සිදු කර ඇත.

එම සමාගම මීට පෙර කෘත්‍රිම ධාවන පථ සකස් කිරීමේ ආසන්නතම ව්‍යාපෘතිය ලෙස Beynon Sports Surfaces සමාගම හා ඒකාබද්ධව දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ මංතීරු 9කින් යුත් මීටර් 400ක් දිග කෘත්‍රිම ධාවන පදයක් ඉදිකිරීම සහ ඇතිරීමේ ව්‍යාපෘතියද සිදුකර තිබේ.

මේ අතර තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය මගින් සිදු කරන මෙම ව්‍යාපෘතිය සඳහා ලංසු ඉදිරිපත් කර ඇති අනෙක් සමාගම වන  George Steuart Engineering (Pvt) Ltd සමාගම, මෙරට මුල් පෙළේ ව්‍යාපාරිකයෙකු වන දිලිත් ජයවීර මහතාට අයත් සමාගමකි.

කෙසේ වෙතත් එම සමාගම මේ දක්වා සිදු කර ඇති ව්‍යාපෘති කළඹ තුළ කෘත්‍රිම ධාවන පථ ඉදිකිරීම පිළිබඳ අත්දැකීමක් පවතින බවට සඳහනක් නැත.

අමාත්‍යාංශය සඳහන් කරන ආකාරයට බද්ධ ව්‍යාපාර ගිවිසුම ඇතිකරගත් ආයතනය සමඟ බද්ධ ව්‍යාපාර ගිවිසුම යටතේ ලංසු ඉදිරිපත් කර තිබූ සමාගම් වන්නේ Senura Civil Engineering (Pvt) Ltd, George Steuart Engineering (Pvt)Ltd, 3DH Trading (Pvt) Ltd, Consulting Engineering & Contractors (Pvt) Ltd යන සමාගම්ය.

තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය මඟින් පාසල් මට්ටමේ සිටින දක්ෂතා දක්වන දරුවන්ට සහ ප්‍රාදේශීය මට්ටමේ සහ ජාතික තලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පුහුණුවීම් සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය මෙන්ම ජාතික මට්ටමේ සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ ලබා ගැනීම සඳහා යොමු කරවීමට අවශ්‍ය පුහුණු පහසුකම් සංවර්ධනය කිරීම අරමුණු කරමින් ක්‍රියාත්මක දිවයින පුරා ස්ථාන 07ක කෘත්‍රිම ධාවන පථ ඉදිකිරීම යටතේ මෙම කටයුතු සිදු වෙයි.

මෙහිදී ගම්පහ, අම්පාර, සබරගමුව, මාතර, අනුරාධපුරය යන ස්ථානවල තෝරාගත් පාසල් 02ක් සහ ක්‍රීඩා සංකීර්ණ 03ක් සඳහා මීටර් 130ක මංතීරු 04ක Full PUR Synthetic පුහුණු ධාවන පථ සැලසුම් නිර්මාණය කොට ඉදි කිරීම සිදු කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.

මෙම ව්‍යාපෘතිය සඳහා ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ එකඟතාවය හා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද ලැබී තිබෙන අතර, මීට අදාළව මූලික ශක්‍යතා අධ්‍යයනය ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද බවත් අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව ගම්පහ ශ්‍රී බෝධි ක්‍රීඩාංගණයේ මීටර් 130 කෘතිම ධාවන පථය ඉදි කිරීම. අම්පාර ඩී.එස්.සේනානායක විදුහලේ මීටර් 130 කෘතිම ධාවන පථය ඉදි කිරීම. සබරගමු පළාත් ක්‍රීඩා සංකීර්ණයේ මීටර් 130 කෘතිම ධාවන පථය ඉදි කිරීම. මාතර දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයේ මීටර් 130 කෘතිම ධාවන පථය ඉදි කිරීම සහ අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ මීටර් 130 කෘතිම ධාවන පථය ඉදි කිරීම එම ව්‍යාපෘති වෙයි.

මීට අදාළ පාංශු පරීක්ෂණය, මූලික ඇස්තමේන්තු සැකසීම සහ ලංසු ලේඛන සැකසීම සිදුකිරීම ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය විසින් සිදු කර තිබේ. ඒ අනුව, සින්තටික් ධාවන පථ නිෂ්පාදකයින්ට (IAAF හෝ WA ලියාපදිංචි) දේශීය කොන්ත්‍රාත්කරුවකු සමඟ ඇති කර ගත් බද්ධ ව්‍යාපාර ගිවිසුමක් යටතේ මේ සඳහා ලංසු ඉදිරිපත් කිරීමට හැකියාව ලබා දී තිබුණි.

එහිදී ලංසු නිකුත් කිරීම 2021.05.11 වන දින සිට 2021.07.19 වන දින දක්වා සිදු කරන ලද අතර ලංසු විවෘත කිරීම 2021.07.20 වන දින සිදු කර තිබේ.

Visits: 242