‘Dotcom’ ගිණුමක් විවෘත කරන යෞවනයින්ට කොමර්ෂල් බැංකුවෙන් නොමිලේ ඩෙබිට් කාඩ් පතක්

අගෝස්තු මාසයේ අග දක්වා කොමර්ෂල් බැංකුවේ නව Dotcom යොවුන් ගිණුමක් ආරම්භ කරන සියළුම දෙනාට නොමිලේ ඩෙබිට් කාඞ්පතක් ලබාදෙන බව බැංකුව නිවේදනය කර ඇත. 

නීයර් ෆීල්ඞ් තාක්ෂණයෙන් (NFC) යුක්ත මෙම Dotcom ඩෙබිට් කාඞ්පත මෙම යොවුන් ගිණුම් හිමියන්ට පොයින්ට් ඔෆ් සේල් (POS) ගනුදෙනු සඳහා හෝ අන්තර්ජාල, ස්පර්ශ නොවන හෝ ComBank Q+ ගෙවීම් ඇප් සේවාව මගින් QR කේතය පදනම් කරගත් ගනුදෙනු සඳහා භාවිතා කළ හැකි අතර ඒ තුළින් පහසුව සහ ආරක්ෂාව අත්විඳිය හැකිය. මේ අතර, මේ තුළින් තමාගේ මුදල් කළමනාකරණය කරමින් මූල්‍ය නිදහස අත්විඳන අතරම තමන්ගේ බැංකු ගනුදෙනු පිළිබඳ මනා දත්ත වාර්තාවක්ද ලබාගැනීමට මෙම ගිණුම්හිමියන්ට අවස්ථාව හිමිවේ.   

මෙම ප‍්‍රවර්ධන කාල සීමාව තුළදී ගිණුමක් විවෘත කරන Dotcom ගිණුම්හිමියන්ට ලබා දෙන්නේ වීසා හෝ මාස්ටර්කාඞ් සන්නාමකරණය කළ ඩෙබිට් කාඞ්පතකි. අවුරුදු 10 ත් 16 ත් අතර ගනුදෙනුකරුවන්ට දෛනිකව මෙම ඩෙබිට් කාඞ්පතින් රුපියල් 10,000 දක්වා ආපසු ලබාගත හැකි අතර අවුරුදු 16-18 අතර ගිණුම්හිමියන්ට දෛනික සීමාව රුපියල් 20,000 වන බව බැංකුව සඳහන් කරයි.   

යොවුන් ප‍්‍රජාව අතර ඉතිරිකිරීමේ පුරුද්ද සහ මූල්‍ය විනය ප‍්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් ආරම්භ කර තිබෙන කොමර්ෂල් බැංකුවේ Dotcom ගිණුම රුපියල් 1000 ක අවම මුදලක් තැන්පත් කිරීම මගින් විවෘත කළ හැකිවේ. පවතින ඉතිරි කිරීමේ පොලී අනුපාතයට සාපේක්ෂව මෙම ගිණුම සඳහා ඉහළ පොලී අනුපාතයක් ලබාදෙන අතර අන්තර්ජාල බැංකුකරණ සහ ජංගම දුරකතන බැංකුකරණ පහසුකම් මෙමගින් නොමිලේ ලබාදෙයි. එසේම, ජංගම දුරකතන රීලෝඞ් පහසුකම්ද මෙම ගිණුම මගින් ඉටුකර ගත හැකිබව බැංකුව සඳහන් කරයි.

මීට අමතරව, Dotcom ගිණුම් හිමියන්ගේ දෙමව්පියන්ට හෝ භාරකරුවන්ට ගිණුම්හිමියාගේ අධ්‍යාපන කටයුතු සඳහා ණය පහසුකම්ද මේ ඔස්සේ ලබාදීමට කොමර්ෂල් බැංකුව කටයුතු යොදා තිබේ. අවුරුදු 10 ත් 18 අතර සිටින  ඕනෑම ශ‍්‍රී ලාංකිකයෙකුට කොමර්ෂල් බැංකුවේ Dotcom යොවුන් ගිණුමක් විවෘත කළ හැකිවේ.

Visits: 51