EXPO සහ TILE සමාගම් දර්ශක අගයන් ඉහළ නංවයි

අද (අගෝස්තු 02) දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු ආරම්භයේදී යම් මන්දගාමී තත්ත්වයක් පෙන්නුම් කළ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහෙත් EXPO සහ TILE සමාගම් සහ අනෙකුත් විශාල ප්‍රාග්ධනීකරණයක් සහිත සමාගම් තුළ පෙන්නුම් කළ වටිනාකම් ඉහළ යාම් දිනයේ පසු අවස්ථාවේදී දර්ශක අගයන් ඉහළ නැංවීමට සමත්වී තිබේ. එහිදී විශේෂයෙන්ම සාර්ථක එන්නත්කරණය සහ රට යළිත් ආර්ථික කටයුතු සඳහා විවෘත කිරීම යනාදිය ආයෝජක විශ්වාසය වැඩි කිරීමට හේතු වී ඇතැයිද තැරැව්කාර සමාගම් පවසයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 8,113.56ත් ඒකක 8,169.39ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 8,148.02ක් බවට පත්විය. එය පසුගිය සිකුරාදා (ජූලි 30) දිනයට සාපේක්ෂව ඒකක 27.54ක් එනම් +0.34%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදුකළ සාකච්ඡාවලට අනුව සිදු වුණු ටීජේ ලංකා පීඑල්සී සහ කොමර්ෂල් බැංකුව කොටස් ගනුදෙනු දිනයේ පිරිවැටුමෙන් 4.7%ක් සඳහා දායක වී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 56ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 121ක මිල ගණන් පහළ ගොස් ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+28.23), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (+12.97), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (+9.11), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (+4.32), වැලිබල් වන් පීඑල්සී VONE (+3.6), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (-7.45), කාර්සන්ස් කුම්බර්බැච් පීඑල්සී CARS (-3.88), ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී SLTL (-2.44), බෝගල ග්‍රැෆයිට් ලංකා පීඑල්සී BOGA (-2.2), ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී DIST (-2.08යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,072.38ක අගයක් ගත් අතර, එය පසුගිය සිකුරාදා (ජූලි 30දා) ‍ට සාපේක්ෂව ඒකක 10.21 ක එනම් +0.33%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 4.09ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පසුගිය සිකුරාදා (ජූලි 30දා) වාර්තා කළ රුපියල් බිලියන 2.55ට සාපේක්ෂව 60.7% ක ඉහළ යාමකි. විදෙස් ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.6ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 21.96%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 99.41ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 353.0ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලා යෑම්හි වටිනාකම රුපියල් මිලියන 253.59කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 34.86ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 14.20 කි. එසේම ටීජේ ලංකා පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 167.90ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 1,356ක් සඳහා ප්‍රවාහන අංශය දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 33%කි. එසේම ප්‍රාග්ධන භාණ්ඩ සහ ආහාර, පාන වර්ග සහ දුම්කොළ අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 822 ක සහ රුපියල් මිලියන 615ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 375