මෙරට තුළ ආර්ථික විප්ලව රැසක් සිදු කළ කවුද මේ රාජමහේන්ද්‍රන්?

පසුගියදා දැයෙන් සමුගත් කැපිටල් මහරාජා සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ සහ සභාපති රාජේන්ද්‍රන් රාජමහේන්ද්‍රන් මහතාගේ සමාජ, ආගමික, ව්‍යාපාරික පසුබිම සම්බන්ධයෙන් සහ ඔහු මෙරට ආර්ථිකයේ වර්ධනය වෙත දැක්වූ දායකත්වය සම්බන්ධයෙන් සටහනක් තබන්නට, ඔහු හා සමීපව ඇසුරු කළ පුද්ගලයෙකු ලෙස හිටපු අමාත්‍යවරයෙකු වන මිලින්ද මොරගොඩ මහතා කටයුතු යොදා තිබේ.

‘විද්‍යුත් මාධ්‍ය කලාවේ විප්ලවයක් සිදු කළ රාජමහේන්ද්‍රන්‘ ලෙස මෙම සටහන ඊයේ ප්‍රසිද්ධිට පත් කෙරුණු ඉරිදා ලංකාදීප පුවත්පතෙහි පළ කෙරී ඇත. මෙහි පළවෙන්නේ එම ලිපියයි. මිලින්ද මොරගොඩ මහතා අද වනවිට ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස කටයුතු කරයි.

එකිනෙකට වෙනස් ක්ෂේත්‍ර ගණනාවක විශිෂ්ටයෙකු වූ, නිශ්ශබ්ද ජවාධිකයෙකුගේ සමුගැනීම සම්බන්ධයෙන් අතිශය කනස්සල්ලෙන් යුතුව කරන සටහනකි. අසමාන චරිතයක් වශයෙන් නිසැකවම දැක්විය හැකි රාජමහේන්ද්‍රන් මහතා ගැන ලිපියක් සකස් කරන සේ ලැබුණු ඇරයුම, මහත් වූ සිතිවිලි අරගලයක් ඇති කරන ලද බව පළමුවෙන් සඳහන් කළ යුතුය. ආරම්භ කළ යුතු තැනක් හෝ අවසන් කළ යුතු සිද්ධියක් ගැන තෝරා වෙන් කර ගැනීම අතිශය දුෂ්කරය. රාජේන්ද්‍රන් රාජමහේන්ද්‍රන් මහතා ශ්‍රී ලාංකේය සමස්ත ව්‍යුහයෙහි දශක පහක පමණ කාලය පරිච්ඡේදයක හරස්කඩකි.

ඉතා හිතෛෂී, සුමිතුරෙකු වූ හෙතෙම, පැන නැගුණු බලවත් අභියෝග මැද පවා, සිය ජීවිතයේ අවසාන මොහොත දක්වාම, තමන් පෙනී සිටි ප්‍රතිපත්ති වෙනුවෙන් අසමසම ධෛර්යයකින් කටයුතු කරන ලද තැන්පත් මනුෂ්‍යයෙකු බව ස්ථිරසාරව ලියා තැබිය යුතුය.

දශක දෙක හමාරකට වැඩි කාලයක් අපි දෙදෙනා වෙනස් මාවත් දෙකක ඉතාම සමීප මිතුරන් වශයෙන් ගමන් කරමින් සිටියෙමු. අපේක්ෂා කරන ලද සැනසීම ඔහුට අත්වේවි. ඔහුගේ බිරිඳ කැනීස්, වැඩිමහල් දියණිය අංජලී වෙත ශෝකය පළ කරමි. සිය ආදරණීය පියාණන්ගේ අනභිභවනීය පැවැත්ම ගැන ලැබෙන පණිවුඩවලින් ශක්තිමත් වන තරුණ ශෂී රාජමහේන්ද්‍රන් මහතාට අලුතින් සන්නාමගත කළ සී.එම්.ජී. (Capital Maharaja Group – CMG) ව්‍යාපාර ජාලය ඉදිරියට මෙහෙයවන්නට හැකිවනු ඇත.

රාජමහේන්ද්‍රන් මහතා තුළ පැවැති මනුෂ්‍යත්වය සම කළ නොහැකිය. ඔහුට සදාකාලික සතුරෝ නොසිටියහ. හදිසියේ තාවකාලික අමනාපකමක් ඇති කරගත් කිසිවෙකු පවා ඔහුගේ මනුෂ්‍යත්වය ඉදිරියේ පරාජය වූහ. අසමසම ආත්ම ශක්තියක් තිබුණු චරිතයකි. ඉතාමත නිර්භීතය, තද අවදානමක් සහිත බව උපදේශකයන් අනතුරු අඟවන අතරතුර පවා අලුත් ව්‍යාපාරයකට ආයෝජනය කිරීමට ඔහු කිසිසේත් පසුබට වූයේ නැත.

රට ගැන විශාල කැක්කුමක් හා දර්ශනයක් තිබුණි. සාමාන්‍ය මහජනතාව, ජාතික හා ආගමික නායකයන්, දේශපාලනඤයන්, කලාකරුවන්, ක්‍රීඩකයන් ඇතුළු සියලු ක්ෂෞත්‍රවල පිරිස් සමත ඇසුරු කළේය. සෑම පුද්ගලයෙකුටම ඔහුගේ කාරුණිකභාවය ගැන කියන්නට යමක් ඇත. සමාජ මාධ්‍ය දෙස බලන විට ඔහු ගැන නොදන්නා වටපිටාවක් මැනැවින් හෙළිදරව් වෙමින් තිබේ. සියලු දෙනාට කාරුණික වී ඇති පුළුල් හදවතක් තිබුණු පරමාරදර්ශී චරිතයක් වශයෙන් බොහෝ සටහන් ලියැවී ඇත.

1970 ගණන්වල සිට අද දක්වා ලාංකේය දේශපාලනයේ ප්‍රබල චරිත ඔහු ඇසුරු කර ඇත. ආර්.ප්‍රේමදාස මහතාගේ සම්බන්ධතාව ඔහු කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකුව සිටි කාලය දක්වා ඈතට විහිදෙයි. ජේ.ආර්. ජයවර්ධන මහතා සමග සමීපව කටයුතු කර ඇත. ගාමිණී දිසානායක, ලලිත් ඇතුලත්මුදල්, රනිල් වික්‍රමසිංහ, චන්ද්‍රිකා කුමාරණතුංග, මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන ජන නායකයන් සමග සමීප සම්බන්ධාවක් පවත්වාගෙන ගියේය.

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමගම විවිධ අවස්ථාවල වෙනස් පසුබිම් සහිතව ඇසුරු කරන ලද බව දැක්විය යුතුය. ආණ්ඩු හදන්නට පිටුපසින් සිටි බව කියැවෙන නමුත් ඇත්ත එය නොවේ. ආණ්ඩුව පිහිටවූ පසු ඔහු අසුන් ගන්නේ ජනතාවගේ පැත්තේය. ඔහුගේ මාධ්‍ය ජාලය ක්‍රියාකරන ආකාරය අනුව මෑත කාලයේදී එය නිරීක්ෂණය කළ හැකි නමුත් අතීතයේ ද ඔහුගේ පිළීවෙල එය විය.

ආණ්ඩුවක් හදා තමන්ට වරප්‍රසාද ගැනීමේ නොනිත් ආශාවක් ඔහු තුළ කිසිසේත් තිබුණේ නැත. හදන ලද ආණ්ඩුවලින්ම ඇති තරම් බැට කෑ හෙතෙම නැවතත් ආපසු හැරෙන දේශපාලනඥයන් වෙත පුරුදු සහෘද භාවයෙන්ම පෙනී සිටියේය. මෑත දේශපාලනයේ රහස් විශාල ප්‍රමාණයක් ඔහුගේ හිත තුළ තිබුණි. දෙදෙනකු මුණ ගැසුණු අවස්ථාවක අනාවරණය වූ කරුණක් පටු වාසි තකා, ඔහු තවත් පාර්ශ්වයකට හෙළිදරව් නොකළේය. එය උදාර පුද්ගලයෙකු සතුව තිබිය යුතු ලක්ෂණයකි.

සින්නතම්බි රාජේන්ද්‍රම් සහ වෙල්ලම්මා යුවළට දියණියන් හතරදෙනකු සහ පුතුන් දෙදෙනකි. පවුලේ බාල පුතු රාමහේන්ද්‍රන් යනුවෙන් නම් කරන ලද අතර දෙමව්පියන්ට ඉතාමත සමීප හිතවතුන්ටත් ඔහු ‘කිලී‘ යන අකුරු දෙක පමණකි. පියාගේ අභාවය රාජමහේන්ද්‍රන් මහතාගේ ජීවිතයට එල්ල වන පළමු අභියෝගයයි. එවකට යොවුන් වියෙහි පසුවිය. තරමක විරාමයකින් පසු වැඩිමහල් සහෝදරයා සමග පවුලේ ව්‍යාපාර පාලනය අතට ගත්තේය.

ආනනයනය කරන ලද භාණ්ඩ සහ මෙරට නිෂ්පාදන වෙනුවෙන් අමුද්‍රව්‍ය ගෙන්වීම කරගෙන ගිය එහි වපසරිය මහාදේවන් ලිමිටඩ්, රාජේන්ද්‍රන් ලිමිටඩ් සහ මහාරාජා ඩිස්ට්‍රිබියුටර්ස් වැනි අංශ දක්වා විහිදී තිබුණි. එම සමාගම් මෙහෙයවන ලද තරුණ දෙසොහොයුරෝ තව තවත් පැතිවිලට ඒවා විහිදුවන ලදහ. මහරාජා සංවිධානය වශයෙන් එකල එම ව්‍යාපාර වෙළෙඳ පොළ ස්ථාවරත්වය ගොඩනගාගෙන තිබුණි.

1983 ජූලි කලබල අනපේක්ෂිත, කර්කශ අත්දැකීමකි. කළුජූලියේ දුමාරය අහසට නැග්ගේ මහරාජා ව්‍යාපාරයට අයත් සමාගම් ගණනාවක් අළු බවට පත් කරමින්ය. පරම්පරා දෙකක් දහඩියෙන් කදුලෙන් ගොඩනැගූ සේසත අහිමි වූ අවස්ථාවේදී දැවීගිය යකඩ සැකිලි හා උණු වී ගිය ප්ලාස්ටික් කොටස් දෙස බලා ශෝකයට පත් රාජමහේන්ද්‍රන් මහතා අධිෂ්ඨානයෙන් යුතුව පියවරක් ඉදිරියට තැබීය.

රාජමහේන්ද්‍රන් මහතා සිය කාර්යය මණ්ඩලය සමග අලුතින් ගමන ආරම්භ කළේය. රට හැරගොස් අනෙකුත් අතක් බලා ගන්නට හොඳටම අවස්ථාව තිබුණි. දේශප්‍රේමියෙකු වූ හෙතෙම ශ්‍රී ලංකාව තම මාතෘභූමිය සේ විශ්වාස කළේය. ජාතිවාදයට දෝෂාරෝපණය කළේ නැත. ජාතිවාදය පැන නැගී ජන සමාජය බෙදන රේඛාව සනිටුහන් කරන ලද ව්‍යසනය හෙළා දකින්නට තැත් නොකළේය. ෆීනික්ස් පක්ෂියා සේ නැගී පියාපත් විහිදන්නට වෑයම් කරන්නට ඇත. ඉතිහාසයක සටහන් විය යුතු දර්ශනයකට පදනම නිර්මාණය වෙන්නේ එතැනින්ය. රාජමහේන්ද්‍රන් මහතා ඉදිරි දැක්මක් තිබූ දක්ෂ ව්‍යවසායකයෙකි. කර්මාන්තකරුවෙකි.

මහවැලි කඩිනම් යෝජනා ක්‍රමය යටතේ, වික්ටෝරියා ජලාශය ඉදිකරන සැලැස්මෙහි මහරාජා ව්‍යාපාරයහි නියෝජනයක් තිබුණි. ජාත්‍යන්තර සමාගම් සමග එකතු වී දැවැන්ත ඉදිකිරීමකට ගියේය. හැරිසන් තේ අපනයනය ව්‍යාපාරය අත්පත් කරගත් පසු නිහතමානීව තෘප්තියට පත්විය. ඇන්කර්, ඩයලොග් වැනි දෙස් විදෙස් කීර්තිමත් සන්නාම මහරාජා ව්‍යාපාර සමූහය සතුව තිබූ අතර ලෝකයේ ප්‍රකට තවත් සමාගම් ගණනාවක දේශීය නියෝජිතයාය. දස දහස් ගණන් රැකියා අවස්ථා බිහි කළේය. මහත් විදේශ විනිමය ප්‍රමාණයක් උපයා රට ඉහළට ඔසවා තැබීය.

මෑත කාලයේදී ජනතාව ඔහු දෙස බලා සිටියේ මාධ්‍ය පතාකයෙකු වශයෙන්ය. මාධ්‍ය කර්මාන්තයට ප්‍රවේශ වන තෙක් ඔහුගේ පිළිබිඹුව මැන ගත නොහැකි විය. එතෙක් රජයේ ඒකාධිකාරයක්ව තිබුණු ශ්‍රව්‍ය හා දෘෂ්‍ය අංශවල පැතැලි බව නව මාධ්‍ය ප්‍රවේශය සමග වෙනස් කරන ලද අතර එය විප්ලවීය හැරවුමක් බව අවිවාදිතය. මාධ්‍ය ඉතිහාසය ගවේෂණය කරන අවස්ථාවක එම්ටීවී, එම්බීසී මාධ්‍ය ජාලා මගින් ඇති කරන ලද කැළැඹීම කිසිසේත් පසෙකට කළ නොහැකි වනු ඇත. ඔහු තම මුහුණ පෙන්වන්නට හෝ ප්‍රතිරූපය සඳහා හෝ සිය මාධ්‍ය භාවිතා කළේ නැත. එහිලා කේවල් කිරීමක් නොතිබුණි. අවස්ථාව උදාවන මොහොතේ ගත යුතු තීරණය ගැන කලින් දැන සිටියේය. ඔහුගේ මාධ්‍ය ආයතනවල ව්‍යුහය තරුණ මාධ්‍යකරුවන්ට තක්සලාවක් වූ බව සඳහන් කළ යුතුය.

සංදර්ශනාත්මක උද්වේගකර අලුත් වැඩසටහන් ජනතාව හමුවේ තැබීය. අනෙක් මාධ්‍යවලට පෙරගමන්කරුවෙකු වූ බව නොරහසකි. බිහිකරන ලද තරු සහ අවස්ථා සම්පාදනය කරන ලද ශිල්පීන්ගේ සංඛ්‍යාව අප්‍රමාණය. ආධුනිකයන් වශයෙන් බඳවාගෙන ඉහළටම ඔසවා තබා අනන්‍යතාවක් ඇති කරගන්නට ඉඩ දෙන ලද අතර ඔවුන්ගේ අවකාශය පුළුල් කරන නිර්ව්‍යාජ නිසි පිළිවෙලක් අනුගමනය කළේය.

ලෝක නායකයන් සමග සම්මුඛ සාකච්ඡා මාලාවක් සඳහා ‘ඉන් බ්ලැක් ඇන්ඩ් වයිට්‘ වැඩසටහන පවත්වන්නට කැමැත්තක් මා තුළ ඇති කරන්නේ රාජමහේන්ද්‍රන් මහතාය. ජාත්‍යන්තරයට ගෙන යන වැඩසටහනක් ඔහුගේ අභිලාශය විය. පසුව ප්‍රකට අන්තර්ජාතික නාලිකාවක් එය මිලදී ගෙන ප්‍රතිවිකාශනය කළේය. ‘ඉන්බ්ලැක් ඇන්ඩ් වයිට්“ සඳහා මැලේසියේ අගමැති මහතීර් මොහොමඩ් මහතා සමග සම්මුඛ සාකච්ඡාව පවත්වන විට රාජමහේන්ද්‍රන් මහතාද මැලේසියාවේ පුත්‍රජයා හි පිහිටි අගමැති නිල කාර්යාලයට ගොස් එම කාර්යය ගැන අවධානය යොමු කරන්නට තරම් නිරහංකාර වූ බව මෙහිදී සිහිපත් කළ යුතුය.

රාජේන්ද්‍රන් රාජමහේන්ද්‍රන් මහතා තමන්ට අහිමි වූ දෙය වෙනුවෙන් හෝ අහිමි කරන්නට හේතු වූ පුද්ගලයන්ට හෝ වෛර කළේ නැත. විනාශය ගෙන එන ලද කොටස පමණක් තෝරා පැත්තකට කරන හදවතක් ඔහුට නොතිබුණි. අවෛරීව පසුවිය. අප්‍රතිහත ධෛර්යකින්, මහත් කැපවීමකින් ඍජුව සිටියේය. පසු කාලයක මම ඔහුගේ දැක්ම සලකා ආදර්ශ පාඨයක් සකස් කර තිලිණ කළෙමි.

Lead, Follow or Get Out of the Way යන වචන සහිත සිහිවටනය ඔහුගේ සිත් ගත්තේය. නායකත්වය ගැනීම, අනුගමනය හෝ පසෙකටවීම යන ක්‍රමෝපාය ඔහුටම අනන්‍ය වූ දෙයකි. එය ඔහුගේ කාර්යාලයේ පෞද්ගලික මේසයෙහි පසෙක තබා තිබුණි. Courage to be Different ඔහුගේ තේමාව විය. වෙනස් වෙන්නට ආත්ම ශක්තිය ඇති කරගත්තේය. මිත්‍රත්වය, මනුෂ්‍යත්වය හා පරිත්‍යාගය සඳහා වූ රාමුව සකස් කරගත්තේ එකී පදනම්වලින්ය.

ඔහු හින්දු බැතිමතෙකි. සම්ප්‍රදායට, සංස්කෘතියට සීමාවකින් තොරව ගරු කළේය. එහෙත් අනෙක් ආගම් හෝ දර්ශනික මතවලට අවහිර නොකළේය. ඔහු වටා සිටියේ බොදුනුවන්ය. කැතුණුවන් හෝ ඉස්ලාම් ආගමිකයන්ය. විහාරස්ථානයට ගෞරව කරන සම්ප්‍රදායක් මහරාජා ව්‍යාපාරය තුළ පවත්වාගෙන ගියේය. බුදු සිරිත අනුගමනය කළේය. නිතිපතා ඇසෙන පිරිස් සජ්ඣායනා එහි යන එන සියලු දෙනා තුළ පහන් හැඟීමක් ඇති කරන ලදි. වෙසක් කලාප, පෝය වැඩසටහන් සහ ධර්ම ප්‍රචාරයට ඉඩකඩ අප්‍රමාණව විවෘතව තිබුණි.

පරිත්‍යාගය ඔහු තුළ තිබුණු ගුණාංගයකි. අවශ්‍ය කරන අවස්ථාවක පෞද්ගලිකවම දෙයක් ලැබෙන්නට සැලැස්වීම අනුගහනය කළ ආවේණික ක්‍රමයකි. සුනාමි විපත අවස්ථාවේදී මාධ්‍ය භාවිතය, සරණ අවශ්‍ය තැන මෙහෙයවෙන, එහි උච්චතම අඅවස්ථාවකි. ගංවතුර,නියඟය, නායයෑම් යනාදී ස්වාභාවික විපත් අවස්ථාවල මාධයයට කළ හැකි මෙහෙයර මෙහෙයවා එහි බලය වේදනාවෙන් පසු වූ ජනතාව වෙත හැරවීය. ගම්මැද්ද එහි පෝෂණීය අවස්ථාවකි. දුරබැහැර තැනෙක අඩුපහසුකම් ඇති පිරිසකට අත්‍යවශ්‍ය සේවාවන් සපයා, ජනතාවට කරුණු වටහා දී අධිෂ්ඨානශීලිව ශක්තිමත් කිරීම අධ්‍යාශය බවට පත්ව තිබුණි.

ආනයන, අපනයනයද ඇතුළුව සිසිල් බීම බෝතලයක සිට තොරතුරු තාක්ෂණය දක්වා පුළුල් පරාසයකට විහිදුන ජන ජීවිතයට දැනෙන අංශ විශාල ප්‍රමාණයක කර්මාන්ත හා සේවා මහරාජා ව්‍යාපාරයට අයත්ය. කැපිටල් මහරාජා සමූහ ව්‍යාපාරය යනුවෙන් සන්නාමය කරන ලද එහි අතු පතර විහිදෙන විට සෙවන නොලැබූවෝ නොවෙති.

ලෝක ප්‍රකට ක්‍රිකට් තරු රාජමහේන්ද්‍රන් මහතාගේ වෑයම ගැන අද කතාකරන්නට පටන් ගෙන තිබේ. දක්ෂ ක්‍රීඩකයන් ඔහු සේවයට බඳවා ගත්තේය. ටෙස්ට් වරම් ලබා ගන්නට අවශ්‍ය තරමට දක්ෂ පිරිසක් පෝෂණය විය. ගාමිණී දිසානායක මහතා සභාපති ධුරය හොබවන විට රාජමහේන්ද්‍රන් මහතා ක්‍රිකට් පාලක මණ්ඩලයේ උප සභාපතිවරයෙකි. ඇවිටිල්ල සහ ලැදියාව නිසා භාරගත් එම තනතුර හැරෙන්නට මතක ඇති කාලයක ඔහු සිය මුහුණ හෝ බලය පෙන්වා තනතුරුවලට පත්වෙන්නට කැමති වූයේ නැත.

මහාරාජා සමූහ ව්‍යාපාරය දක්ෂ මානව සම්පතක් රටට බිහි කරන ලද අතර දෙස් විදෙස් පිරිස් දහ දහස් ගණනින් එහි සේවය කළහ. තවත් දස දහස් ගණනකට ස්වාධීනව නැගෙන්නට අවශ්‍ය ජවය සම්පාදනය කළේය. කලාකරුවන්, ක්‍රීඩකයන්, තරුණ නායකයන් පමණක් නොව ජාති, ආගම් හෝ කුල භේදයකින් තොරව නැගෙන්නට එහි සහාය ඉල්ලා සිටි සියල්ලන්ම එයට ඇතුළත් කළ හැකිය.

රාජමහේන්ද්‍රන් මහතා දියුණු කරගත් රසාස්වාදයක් තිබුණ රසවතෙකි. කලාකෘති එකතු කළේය. මිල කළ නොහැකි සිතුවම් මිලදී ගෙන සංරක්ෂණය කරන ලද අතර, සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ දරුවන්ගේ හෝ ආධුනික චිත්‍ර ප්‍රදර්ශනයකදී හෝ තෝරාගත් නිර්මාණ මිලදී ගන්නට ඔහු පිළිවෙලක් යොදා තිබුණි. චිත්‍ර මිලදී ගත්තේ ශිල්පියෙකුට ආධාරයක් වශයෙනි. මිලදී ගත්තේ කවුදැයි නොඇඟවෙන්නට, එයින් ප්‍රසිද්ධියක් අපේක්ෂා නොකරන්නට තරම් නිර්ව්‍යාජ, සරල ගුණාංග රාජමහේන්ද්‍රන් මහතා අනුගමනය කළේය.

රාජමහේන්ද්‍රන් මහතා ඉතාම හොඳ විශ්වාසවන්තයෙකි. ඔහු තමන් ඉදිරියේ සිටින පුද්ගලයා තදින් විශ්වාස කළේය. ඔහු ඉදිරිපිට සිටින පුද්ගලයා කියන වචනවල අනියමාර්ථය, වහරණ විලාසය හෝ අංග චලනය කෙරෙහි කිසිම අවස්ථාවක අවධානයක් දැක් වූයේ නැත. සමහර තැනෙකදී එහි හොඳක් අත්පත් කරගත් අතර නරකට මුහුණු දුන් අවස්ථා බහුලය. එයින් පසුතැවිල්ලක් හෝ තමන් ගොදුරු වූ බවක් හෝ පසුව ඇඟවූයේ නැත.

සරල, නිහතමානී, විදදරාගත හැකි පුද්ගලයෙකි. අසමාන චරිතයකි. ජන සමාජයේ ඉහළම පුද්ගලයාගේ සිට තමන්ගේ කර්මාන්ත ශාලාවක සේවය කරන සුළු සේවකයෙකුගේ අභිලාශය ද තේරුම් ගෙන ක්‍රියාත්මක වූ අත්විදීය පෞරුෂයක් රටට අහිමි වී තිබේ. ස්වල්ප කාලයකට කලින් මෙම අසිරිමත් මිනිසා සිය ව්‍යාපාර ජාලය නැවතත් සන්නාමගත කළේය. මහරාජා පන්නරය සහිත උපශීර්ෂ පාඨයක් ඇති එය සී.එම්.ජී. යනුවෙන්ය. අලුත් යුගයකට අවතීර්ණ වන සුදුසුම මොහොත, ඔහු නික්ම යන්නට කලින් දැන සිටි බවට හොඳ හෝඩුවාවකි.

Visits: 229