මෙරට කෘෂි පාරිසරික පද්ධතිය අධ්‍යයනය සඳහා ස්විට්සර්ලන්ත විශේෂඥ කණ්ඩායම දිවයිනට

මෙරට කෘෂි පාරිසරික පද්ධතිය පිළිබඳ අධ්‍යයනය කිරීමට කීර්තිමත් ස්විට්සර්ලන්ත විශේෂඥ කණ්ඩායමක් අගෝස්තු 1 වැනිදා මෙරටට ළඟා වී තිබේ.

එම පිරිස ශ්‍රී ලංකාවේ ගත කරන දින 10ක කාලය තුළ මෙරට කෘෂි ක්ෂේත්‍රයට අදාළ ප්‍රධාන පාර්ශ්වකරුවන් රැසක් මුණගැසීමටත්, කාබනික කෘෂිකර්මාන්තය හා බැඳුණු ක්ෂේත්‍ර සහ පහසුකම් වෙත සංචාරය කිරීමටත්, කොම්පෝස්ට් නිෂ්පාදනය හා කාබනික ගොවිතැන පිළිබඳ විශේෂ පුහුණු වැඩසටහන් පැවැත්වීමටත් නියමිතව ඇතැයි එම පිරිස මෙරටට ගෙන්වීමට මැදිහත් වූ බවර් සමාගම පවසයි.

ඒ අනුව සිය සංචාරය අතරතුරදී, කෘෂිකර්ම අමාත්‍යංශයේ හා කෘෂිකර්මාන්තය හා සම්බන්ධ රාජ්‍ය අමාත්‍යංශවල ඉහළ නිලධාරීන් මෙන්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව; කාබනික ගොවිතැන සඳහා විශිෂ්ටතා මධ්‍යස්ථානය (CEOA); ජාතික පොහොර ලේකම් කාර්යාලය; ශ්‍රී ලංකා කෘෂිකර්ම පර්යේෂණ ප්‍රතිපත්ති කවුන්සිලය (SLCARP); පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨය; කුසලතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය; පොල් පර්යේෂණ ආයතනය; ශ්‍රී ලංකා තේ මණ්ඩලය හා තේ පර්යේෂණ ආයතනය යන ආයතනවල ඉහළ නිලධාරීන් ද හමුවීමට මෙම ජාත්‍යන්තර විශේෂඥ කණ්ඩායම සැලසුම් කර තිබේ.

ඊට අමතරව ඔවුහු කල්පිටිය, තඹුත්තේගම, වැලිවේරිය, රදාවාන, බෙලිහුල්ඔය සහ නුවරඑළිය යන ප්‍රදේශවල සාම්ප්‍රදායික ගොවීන් සහ කාබනික ගොවීන් හමුවීමට ද නියමිත ය. තව ද වෙළඳපොළවල්, සත්ත්ව ගොවිපොළ, කිරි ගොවිපොළ, තේ කර්මාන්තශාලා, තේ වතු, කසළ එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන (විශේෂයෙන්ම හෝටල් හරහා කසළ එක්රැස් කිරීමේ ක්‍රියාවලිය හා එමගින් කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය) ආදිය ද ඔවුන්ගේ නිරීක්ෂණයට බඳුන් වනු ඇත.

මෙරට විද්‍යාත්මක කෘෂි පොහොර ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු මෙන්ම විවිධාංගීකරණ ව්‍යාපාර සමූහයක් ලෙස ප්‍රකට බවර් සමාගම, ස්විට්සර්ලන්තය කේන්ද්‍ර කරගත් ලොව ප්‍රමුඛ පෙළේ ආයතන දෙකක් සමඟ සහයෝගීතාවයෙන් මෙම විශේෂඥ කණ්ඩායම මෙරටට ගෙන්වාගෙන තිබීම කැපීපෙනේ.

සිය සමස්ත වගාබිම් ප්‍රමාණයෙන් 16.5%ක් කාබනික කෘෂිකර්මාන්තය සඳහා යොදාගෙන ඇති ස්විට්සර්ලන්තය ලොව කාබනික කෘෂි වගාව අතින් ලොව 6වැනි ස්ථානය ඉසිලීම ද විශේෂත්වයකි.

ස්විට්සර්ලන්තයේ කාබනික කෘෂිකර්මාන්ත පර්යේෂණ ආයතනය (FiBL) යනු තිරසාර කෘෂිකර්මාන්තයක් සඳහා කැපවී ක්‍රියාකරන, කාබනික කෘෂිකර්මාන්තයේ පර්යේෂණ හා තාක්ෂණික දැනුම හුවමාරු කරන ලොව ප්‍රමුඛ පෙළේ මධ්‍යස්ථානයකි. මේ අතර බර්න් ව්‍යවහාරික විද්‍යා විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම, වනාන්තර සහ ආහාර විද්‍යා පාසල (HAFL) ද ප්‍රථම උපාධි සහ පශ්චාත් උපාධි පිරිනමන ආයතනයකි. HAFL හි ව්‍යවහාරික පර්යේෂණ මගින් කෘෂි ක්ෂේත්‍රයේ සමකාලීන ගැටලු සහ අනාගත අභියෝග පිළිබඳ අවධානය යොමු කරන අතර ස්විට්සර්ලන්තය තුළ මෙන්ම ගෝලීය වශයෙන් ද උපදේශන සේවාවක් ක්‍රියාත්මක කරයි.

මෙම විශේෂඥ කණ්ඩායම කැලණියේ පිහිටි බවර් පොහොර කර්මාන්තශාලාවේදී කණ්ඩායම් කිහිපයකටත් සහ අනුරාධපුර බවර් පරිශ්‍රයේදී බවර් කාර්යමණ්ඩලය, බෙදාහැරීම් නියෝජිතයින්, ඒජන්තයින්, ප්‍රධාන පෙළේ ගොවීන්, කොම්පෝස්ට් නිෂ්පාදකයින් වෙනුවෙන් පුහුණු සැසි දෙකක් පැවැත්වීමට නියමිත ය. ඒ කොවිඩ්-19 සෞඛ්‍ය මාර්ගෝපදේශනවලට දැඩිව අනුකූල වෙමිනි. 

HAFL හි ස්වාභාවික සම්පත් කළමනාකරණ මහාචාර්යවරයෙකු වන ක්‍රිස්ටෝෆ් ස්ටඩර්, HAFLහි ඝර්ම කලාපීය කෘෂි පාරිසරික පද්ධති පිළිබඳ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයෙක් වන ආචාර්ය ගර්බිර් එස් බුලර්, FiBL හි ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු වන පෝල් වැන් ඩෙන් බර්ජ් සහ FiBL හි ශාක ව්‍යාධිවේදය සහ පාංශු ගුණාත්මක භාවය පිළිබඳ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයෙකු වන ආචාර්ය ජැක්ස් ජී. ෆූච් යන අයගෙන් සමන්විත මෙම විශේෂඥ කණ්ඩායම සතුව පුළුල් න්‍යායාත්මක දැනුමක් සහ ප්‍රායෝගික අත්දැකීම් රැසක් පවතී.

කාබනික කෘෂිකර්මාන්තය වෙත ගමන් කිරීමට ශ්‍රී ලංකාව ගත් තීරණයත් සමඟ මෙවැනි අධ්‍යයනයක් සිදුකිරීම අතිශය කාලීන හා වැදගත් කටයුත්තක් වනු නිසැක ය. මෙරට කෘෂිකාර්මික පරිසරය පිළිබඳ පුළුල් අධ්‍යයනයකින් පසුව, ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය තුළ පවතින ගැටලු හා බාධක හඳුනාගැනීමටත්, අනාගත අභියෝග ජයගැනීමටත්, සවිස්තරාත්මක, ප්‍රායෝගික සහ විද්‍යාත්මක සැලැස්මක් ඉදිරිපත් කිරීමට මෙම විශේෂඥ කණ්ඩායම ක්‍රියාකරනු ඇත.

Visits: 100