වසරේ මේ දක්වා රු. බිලියන 69.65ක ප්‍රාග්ධනයක් රැස් කරදීමට කොටස් වෙළෙඳපොළ සමත් වෙලා

2021 වසරේ මේ දක්වා කාලය තුළදී කොළඹ කොටස් හුවමාරුව හරහා රුපියල් බිලියන 69.65ක ප්‍රාග්ධනය රැස් කරගැනීමක් සිදු කර ඇතැයි එහි ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා පවසයි. ඒ අනුව මේ වසර කොළඹ කොටස් හුවමාරුව සඳහා වැදගත් වසරක් බවට පත්ව ඇතැයිද ඔහු සඳහන් කරයි.

පසුගිය ජූලි 20 වැනිදා ආරම්භ කරන ලද JAT Holdings සමාගමේ මූලික මහජන නිකුත් කිරීම අවස්ථාව සඳහා අධි දායකත්වයක් හිමිවීම පිළිබඳව අදහස් දක්වමින් ඒ මහතා මේ පිළිබඳව සඳහන් කර තිබේ.

මෙහිදී මහජන දායකත්වය හා විකුනුම් අර්පණය යන දෙයාකාරයෙන්ම ජැට් හෝල්ඩින්ග්ස් සමාගම නිකුත් කළ 82,904,846 පමණ වූ ඡන්ද හිමි සාමාන්‍ය කොටස්  සඳහා එය ආරම්භ කළ පළමු දිනයේම අධි දායකත්වයක් ලබා ගන්නා ලදී.

මෙම ප්‍රවණතාවය පිළිබඳව අදහස් දක්වමින් ප්‍රධාන විධායක නිළධාරී රජීව බණ්ඩාරනායක මහතා, 2021 වර්ෂය තුළ කරන ලද සාර්ථක 10 වන නිකුත් කිරීම ජැට් හෝල්ඩින්ග්ස් ලිමිටඩ් බව පවසා සිටියි.

“ඒ වගේම මෙය වසරේ සිව්වන සාර්ථක කොටස් ලැයිස්තු ගත කිරිම  ලෙසද පිළිගැනීමට ලැබීම සතුටට කරුණක්. 2021 කොළඹ කොටස් හුවමාරුවේ වැදගත් වසරක් බවට පත් වී තිබෙනවා. මේ දක්වා වසර ඇතුළත කොටස් වෙළෙඳපොළ හරහා රැස්කර ඇති ප්‍රාග්ධනය  රුපියල් බිලියන 69.65 ක් පමණ වෙනවා.”  යනුවෙන් ඒ මහතා පවසා ඇත.

මෙහිදී JAT Holdings සමාගම විසින් ඡන්ද හිමි සාමාන්‍ය කොටස් 55,814,700ක් කොටසකට රු.27 බැගින් මහජන දායකත්වය  (Offer for Subcription) සඳහා ඉදිරිපත් කරනු ලැබූ අතර විකුනුම් අර්පණය සඳහා (Offer for Sale) රු. 27 බැගින් ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් 27,090,146 ඉදිරිපත් කරන ලදි.

ජැට් හෝල්ඩින්ග්ස්  ලිමිටඩ් විසින් කරනු ලද ඉහත කොටස් නිකුතුව සඳහා රුපියල් බිලියන 2.2 කට වැඩි වටිනාකමකින් යුක්ත ඉල්ලුම්පත් ලැබුණු හෙයින් මෙම නිකුතුව 2021 ජූලි 20 දින ප.ව.4:30 ට අවසන් විය.

ඒ අනුව කොළඹ කොටස් හුවමාරුව, ප්‍රාග්ධනය රැස් කිරීමේ පහසුකම් සපයන්නෙකු ලෙස ස්ථාපිත කිරීමේ මෙම වර්ධනීය ගමන් මග පිළිබඳව තමන් දැඩි විශ්වාසයෙන් සිටින බවද ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Visits: 306