LOLC හෝල්ඩිංග්ස් රුපියල් බිලියන 2ක ණයකර නිකුතුවකට සැරසෙයි

කොළඹ කොටස් හුවාමරුවෙහි ලැයිස්තුගත LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම සිය ණයකර නිකුතුවක් සිදු කිරීමට සූදානමින් සිටින බව පවසයි. පසුගියදා පැවැති එහි අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ තීරණය ගෙන තිබේ.

ඒ අනුව ලැයිස්තුගත නොවූ, වර්ගකෙරූ, සුරක්ෂිත නොවූ, ජ්‍යෙෂ්ඨ, ආපසුමුදවා ගත හැකි ණයකර නිකුතුවක් ලෙස මෙය සිදු කරන බව සමාගම සඳහන් කරයි.

මෙහිදී ණයකර කොටස් මිලියන විස්සක් (20,000,000ක්) නිකුත් කිරීමට යෝජනා කර තිබේ. එහිදී එක් ණයකර කොටසක් රුපියල් 100 බැගින් මිල කෙරී ඇති අතර, සමස්ත නිකුතුවේ වටිනාකම රුපියල් බිලියන දෙකකි. (2,000,000,000කි)

LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම පවසන අකාරයට මෙම යෝජිත ණයකර නිකුතුව සම්බන්දයෙන් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ අනුමැතිය හිමිවිය යුතුව ඇත.

මෙහිදී ණයකරයේ කල්පිරීම සහ එහිදී ලබාදෙන පොලී අනුපාත අනුව එය Type A, Type B සහ Type C ලෙස වර්ග කෙරී ඇත. ඒ අතරින් Type A සහ Type B වසර පහක භුක්තියක් සහිත වන බවත් Type C වසර 10ක භුක්තියක් සහිත වන බවත් පැවසෙයි.

එසේම Type A වර්ගය සඳහා වාර්ෂිකව ගෙවන 10.25%ක වාර්ෂික පොළී අනුපාතයක් හිමිවන බවත්, Type B සඳහා කාර්තුමය වශයෙන් ගෙවන 9.85% ක වාර්ෂික පොලී අනුපාතයක් හිමි වන බවත් පැවසෙයි. එසේම Type C සඳහා වාර්ෂිකව ගෙවන 12.00%ක වාර්ෂික පොලී අනුපාතයක් හිමිවන බවත් සඳහන් වෙයි.

මෙහිදී LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමෙහි සබැඳි පාර්ශ්වයන් වෙත මෙම ණයකර මිලදී ගැනීම් සඳහා ඉදිරිපත් විය හැකි බවත්, එහෙත් එම සබැඳි පාර්ශ්වයන්ගේ මිලදී ගැනීම් නිකුත් කරන සමස්ත ණයකර නිකුතුවේ වටිනාකම් 25%ක ප්‍රතිශතයක් නොඉක්මවිය යුතු බවත් සමාගම පවසයි.

Visits: 402